ඇමෙරිකානු ගුවන් කඳවුරක සිට තවත් යානයක් කටුනායකට.

0
54

තවත් ඇමෙරිකානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ අද අලුයම පිටව ගොස් තිබෙනවා.

එම යානය ද ඇමෙරිකාවේ වෙස්ටර්න් ග්ලෝබල් එයාර් ලයින් සමාගමට අයත් යානයක්.

ඇමෙරිකාවේ වෙස්ටර්න් ග්ලෝබල් එයාර් ලයින් නමැති භාණ්ඩ ප්‍රවාහන ගුවන් සමාගමට අයත් මැක්ඩොනල් ඩග්ලස් 11 වර්ගයේ යානයක් පසුගිය සිකුරාදා අලුයම කටුනායකට පැමිණ සෙනසුරාදා අලුයම එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා බලා පිටත්ව ගියා.

අනතුරුව ඉරිදා අලුයම 2.50ට පැමිණි එම සමාගමටම අයත් එවැනිම වර්ගයේ තවත් යානයක් අද අලුයම 12.40ට පිටත්ව ගොස් තිබුණේ ෆුජයිරා ගුවන්තොටුපොළටයි.

ගුආම් දූපතේ පිහිටි ඇන්ඩර්සන් නමැති ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරේ සිට එම යානය කටුනායකට පැමිණ තිබුණා.

බටහිර පැසිෆික් සාගරයේ පිහිටි ගුආම් දූපත ඇමෙරිකානු පරිපාලනයට නතු ප්‍රදේශයක් වන අතර දූපතේ ඇමෙරිකානු ගුවන් කඳවුරක් සහ නාවික කඳවුරු දෙකක් පිහිටා තිබෙනවා.

මෙම ගුවන් ගමන් පිළිබඳව සැක කටයුතු කරුණු කිහිපයක් මතු වූයේ ඒ සම්බන්ධයෙන් බලධාරීන් කළ පරස්පර ප්‍රකාශ නිසයි.

නිසි අවසර ලබා ගැනීමෙන් පසුව සාමාන්‍ය ගමන් මාර්ගයේ පියාසර කරන අතරවාරයේ භාණ්ඩ හා සේවා ලබා ගැනීමට පළමු ගුවන් යානය පැමිණි බව ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළා.

නමුත් සිවිල් ගුවන් සේවා බලධාරීන් පැවසුවේ, ඇඟලුම් රැගෙන යාමට එම යානය පැමිණි බවයි.

අප කළ විමසීමකදී වෙස්ටර්න් ග්ලෝබල් එයාර් ලයින් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් කේ. නෙෆ් මහතා පැවසුවේ, තම සමාගමට අමෙරිකානු රජයේ සිවිල් ගුවන් යානා සමූහය සමඟ කටයුතු කිරීමේ නිල බලය හිමි වී ඇති බවයි.

ඒ අනුව ඇමෙරිකානු රජය නියෝජනය කරමින් ලොව පුරා සිය භාණ්ඩ ප්‍රවාහන කටයුතුවල නිරත වන බව ජේම්ස් කේ. නෙෆ් මහතා පවසනවා.