ලෝක කුසලානයට තරඟ කරන ශ්‍රී ලංකා පිතිකරුවන්ට සහය වන්න තවත් වේග පන්දු යවන්නෙක් කැඳවයි.

0
189

ලෝක කුසලානයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට පුහුණු දැල තුළ හොඳින් පුහුණුවීම සඳහා අවශ්‍ය පන්දු යැවීමට යොවුන් ක‍්‍රීඩක බිනුර ප‍්‍රනාන්දු එක්ව තිබෙනවා. ඒ වේග පන්දු යවන පුහුණුකරු රුමේෂ් රත්නායකගේ ආරාධනයකට අනුවයි.

23 හැවිරිදි බිනුර ප‍්‍රනාන්දු ශ්‍රී ලංකාව නියෝජනය කළ වේග පන්දු යවන්නෙක් වන අතර ශ්‍රී ලංකා වේග පන්දුවේ අනාගතය බව ඇතැම් විචාරකයන්ගේ ද මතයයි.

බිනුර මේ දිනවල එංගලන්තයේ යෝක්ෂයර් ප‍්‍රාන්ත පි‍්‍රිමියර් ලීග් තරඟාවලිය නියෝජනය කරමින් සිටියදී මෙලෙසින් ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ සහයට පැමිණ තිබෙනවා.

ඕනෑම කණ්ඩායමක් විදේශයකදී පුහුණුවීම් කරන අවස්ථාවකදී දැල් තුළ පන්දු යැවීමට ක්‍රීඩකයන් ලබා දීම සම්ප්‍රදායයි. කෙසේ වෙතත් මෙවර ලෝක කුසලානයේදි ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට එතරම් හොඳ පන්දු යවන්නන් ලබා දීමට අයි.සී.සීය පියවර ගෙන නැහැ.

එම හේතුවෙන් යෝක්ෂයර් ප‍්‍රාන්ත පි‍්‍රිමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කරමින් සිටි බිනුර ප්‍රනාන්දුට රුමේෂ් රත්නායක පුහුණුකරුගෙන් ආරාධනාවක් ලැබී තිබෙනවා. ලෝක කුසලාන සංචිතයට නම් නොවුනද, දැල් පන්දු යවන්නෙක් වීම තුල කිසිදු ප්‍රතිලාභයක් නොවුනද, සිය තරඟාවලිය අතහැර බිනුර රට වෙනුවෙන් පැමිණීම ප්‍රශංසා කළ යුත්තක්.

ශී‍්‍ර ලංකාව සතු වේග පන්දු යවන්නන් අතුරින් වැඩිම උසකින් (අඩි 6.6) යුත් ක‍්‍රීඩකයා වන්නේද බිනුර ප‍්‍රනාන්දුයි. ඔහු 2015 වසරේදී පාකිස්තානයට එරෙහිව ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ අතර එම විස්සයි විස්ස තරඟ දෙකේදී කඩුලු 3 ක් දවා ගැනීමට බිනුරට හැකිවිය. එහිදි ඔහු විසින් දවා ගත් ෂාහිඩ් අෆ්රිඩිගේ කඩුල්ල මෙරට රසිකයන්ගේ මතකයේ තවමත් රැඳී පවතිනවා.

මේ පිළිබඳව බිනුර අදහස් දැක්වූයේ මෙලෙසින්,

‘‘රුමේෂ් සර් මගෙන් ඇහුව්වා පන්දු යවන්න එනවද කියලා. ඒ නිසා මම ආවා. මම ක‍්‍රීඩා කරන්නේ ප‍්‍රාන්ත තරඟවලදී අසාර්ථක වන ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා කරන පි‍්‍රමියර් තරඟාවලියට. ඒක මට ලැබුණු ලොකු අවස්ථාවක්. මෙහෙ තියෙන්නේ වේග පන්දු යවන්නන්ට උචිත තණතීරු. මම දැනට තරඟ හතරකට කී‍්‍රඩා කරලා කඩුලූ 15 ක් දවා ගෙන තියෙනවා.’’

‘‘පාකිස්තානය සමඟ 2015 වසරේදී විස්සයි විස්ස තරඟ දෙකකට ක‍්‍රීඩා කළා. ඊට පස්සෙ මගේ පාදයේ ආබාධයක් ඇති වුණා. ඒ ආබාධයෙන් පස්සෙ 2018 වසරේදී මාව ආයිත් ජාතික කණ්ඩායමට කැඳෙව්වා. ඊට පස්සෙ යළිත් අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඒ නිසා එංගලන්තයට ඇවිල්ලා අත්දැකීම් ලබා ගන්න මම හිතුවා. ඉදිරියේදී මම හිතනවා යළිත් ජාතික කණ්ඩායමට එන්න පුළුවන් වෙයි කියලා. අපිට හොඳ වේග පන්දු යවන්නන් ඉන්නවා.’’