ඇන්ජලින් ගුණතිලකගේ ගීතවල අයිතිය ගැන මුණුපුරා කතා කරයි.

සිනමාවට ස්වර්ණමය යුගයක් බිහි කිරීමේ පෙරමුණ ගත් සිංහල සිනමාවේ රිදී සිනුව ඇන්ජලින් ගුණතිලක හැමදාමත් පේ‍්‍රක්‍ෂක හදවත් රසාලිප්ත කළ හඬ පෞර්ශයක්. කලක් රෝගීව සිටි ඇය කිසිවෙක් නොසිතූ විලස පසුගියදා ජීවිතයෙන් නික්ම ගියා. ඇය ලංකාව තුළ අග‍්‍රගන්‍ය ගායිකාවක් වුවත්, ඇයගේ දරුමුණුපුරන් කිසිවෙක් ගායන ක්ෂේත‍්‍රයට අවතීර්ණ වූයේ නැහැ. තම මිත්තණියගේ වියෝවෙන් පසු ඇයගේ මුනුපුරකු වන ඉමාල් ජූඞ් මේ වනවිට සංගීත ක්ෂේත‍්‍රයට අවතීර්ණ වී සිටිනවා. ඉමාල් තම මිත්තණියගේ මතකය අවදි කළේ මේ විදිහට.

ඇන්ජලීන් මහත්මියගේ මුණුපුරු මිණිපිරියන් කී දෙනෙක් ඉන්නවාද?

මගේ ආච්චිට ඔක්කොම මුණුපුරු මිණිපිරියන් පස් දෙනෙක් ඉන්නවා. හැබැයි ලංකාවේ ජීවත් වෙන්නේ මම විතරයි. ආච්චි අම්මා එක්ක වැඩිපුරම ලඟින් ආශ‍්‍රය කරපු මුණුපුරා තමයි මම.

ඉමාල් දැකපු ඇන්ජලින් ගුණතිලක කියන ගායිකාව කොයිවගේද?

ලංකාවේ හිටපු එකම ප‍්‍රතිපත්තිගරුක ගායිකාව තමයි මගේ ආච්චි. තමන්ගේ ස්ථාවරේ තියාගෙන ප‍්‍රතිපත්ති ?කගෙන නිර්භයව ඕනම අසාධාරණයකට එරෙහිව කෙලින් කතා කරන චරිතයක් විදිහට තමයි මම ආච්චි අම්මාව දැක්කේ. ඇය බොහොම සැරපරුෂයි, ආඩම්බරයි කියලා කෙනෙක් කියන්න පුළුවන් ඒත් ඇය තරම් ගුණ යහපත් හිත උනුවෙන කෙනෙක් මම දැකලා නැහැ. ඇය ප‍්‍රතිපත්ති අකුරටම රැුකපු කෙනෙක් නිසා තමයි ආඩම්බරයි, සැරපරුෂයි කියලා බොහෝ අයට දැනුනේ.

ඇන්ජලින් මහත්මියගේ සංගීත ජිවිතේ යම් යම් දේවල් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරලා තියෙනවාද?

ආච්චි අම්මා ගොඩක් දේවල් ගැන මට කියලා තියෙනවා. උදාහණයක් විදිහට ලතා වල්පොල සහ ඇන්ජලින් ගුණතිලක කියන්නේ ඉස්සර ඉඳපු එකට කාපු බීපු හොඳම යාළුවෝ. ඉතින් මේ විරසකයේ කෙළවරක් දකින්න ඕන කියන එක මම හැමදාම හිතපු දෙයක්. ලතා ඇන්ටිවයි ආච්චිවයි යාළු කරන්න ඉස්සරත් ගොඩක් අය උත්සාහ කරලා තිබුණා. ඒත් කාටවත් ඒක කරන්න බැරි වුණා. ආච්චි අම්මයි ලතා ඇන්්ටියි අවුරුදු තිස් පහක් විතර විරසක වෙලා හිටියා. අපේ ආච්චියි ලතා ඇන්ටියි තරහා වුණාට අපියි ලතා ඇන්ටිගේ දරු මුණුපුරොයි හරි යාළුයි. අවුරුදු තුනකට ඉහතදි මම ලතා ඇන්ටිට කිව්වා ආච්චි අසනීපයි එන්න අපේ ගෙදර කියලා. ඒත් ඒ වෙලාවේ ලතා ආච්චි ඇහුවා මම ආවොත් ඔයාගේ ආච්චි මට බනියිද කියලා මම අපේ ආච්චිටත් පැහැදිලි කළා මේ විරසකේ තේරුමක් නැහැ යාළුවෙන්න කියලා. මුලින්ම අපේ ආච්චි ලතා ආච්චි එක්ක කතා කරන්න කැමති වුණේම නැහැ. මගේ ආච්චිට තිබුණේ හිතේ වෛරයක් නෙමෙයි. දුකක් සහ කලකිරීමක්. ඇයගේ ගීත ගායනා කළා කියලා අවුරුදු 35 කට පස්සේ ලතා ආච්චිගේ 82 උපන්දිනයට තමයි ආච්චි අම්මා කතා කළේ. ‘‘එදා ආච්චි අම්මා ලතා ආච්චිට කිව්වා මම ඉක්මනට හොඳ වෙලා එනවා. ආවම අපි දෙන්නා ලොකු ප‍්‍රසංගයක කරමු කියලා.’’ ඇත්තටම ලොකු ප‍්‍රසංගයක් කරන්න ආච්චි අම්මා ගොඩක් ආසාවෙන් හිටියේ.

ඇන්ජලින් මහත්මියගේ දරු මුණුපුරන්ගෙන් ඉමාල් එක්කද ආච්චි අම්මාට වැඩිපුර ගීත ගයන්න ලැබුණේ?

ඔව්. ඇය මාත් එක්ක බොහෝ ප‍්‍රසංගවල ගීත ගයලා තියෙනවා. අන්තිමට සරත් දසනායක මහත්මයාගේ උපහාර උළෙලකදී ආදරේ මන්දිරේ, පාටපොදක් තිලකලා ගීත 2 ගායනා කළා. ආච්චි අවසාන වතාවට වේදිකාවකට නැග්ගේ නෙළුම් පොකුණේ සරත් දසනායක මහත්මයාගේ සරා සඳේ කියන ප‍්‍රසංගයේදි. ඒ 2016 දි.

මේ වෙනකොට ඇන්ජලින් මහත්මියගේ ගීත සම්බන්ධයෙන් අරගෙන තියෙන පියවර මොකක්ද?

ආච්චි අම්මාගේ ගීත නම් එකක්වත් විනාශ වෙන්න දෙන්නේ නැහැ. ආච්චි අම්මාගේ රසික රසිකාවෝ දැන් මගේ නමට ලිවුම් එවනවා. ‘‘ආච්චිගේ ගීත විනාශ වෙන්න දෙන්න එපා. අපි ඔබ සමගයි කියලා’’ මට හරිම පුදුමයි දැනට ආච්චි අම්මා ගායනා කළ ගීත සියලූම අයිතිය පැවරිලා තියෙන්නේ මගේ සීයට. සීයා මට සීයාගෙන් පසු, පසු අයිතියක් පවරලා තියෙනවා. ආච්චිගේ ගීත වලට මොනයම් හෝ අක‍්‍රමිකතාවක් වුණොත් මට ක‍්‍රියාත්මක වෙන්න පුළුවන් විදිහට. අනිත් එක මගේ ආච්චිගේ නම භාවිතා කරලා කුමක් හෝ ප‍්‍රසංගයක් කරනවා නම් අපේ පවුලෙන් අවසර ලබාගත යුතුමයි. එහෙම නොවුණොත් අපිට ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගන්න පුළුවන්. මගේ  ආච්චි කිව්වේ ඉන්නකම් උපහාර කරන්න. මැරුණට පස්සේ මට උපහාර එපා කියලා. මගේ ආච්චි අම්මා ගීත 5000 කට වඩා ගයලා තියෙනවා. ඒත් මගේ ආච්චි අම්මා කවදාවත් රාජ්‍ය මට්ටමින් නිසි ඇගයීමකට ලක් වුණේ නැති ගායිකාවක්. ඒ ගැන ඇයටත් පොඩි කලකිරීමක් තිබුණා. ඇයට කලා භූෂණ සම්මානය දුන්නේත් ඇය අසනීප වුණාට පස්සේ ආච්චි නිතරම කිව්වේ ජීවත්ව ඉන්න කාලේ ලැබුණේ නැති උපහාර මැරුණාට පස්සේ වැඩක් නැහැ කියලා.

ආක්‍ෂා චමුදි ඇන්ජලීනාට ඇන්ජලින් මහත්මියගේ ගීත වල අයිතියක් තියෙනවාද?

ඇයට අයිතියක් නැහැ. ආච්චිගේ කැමැත්තෙන් ගීත කිහිපයක් ගායනා කිරීමේ අවසරය විතරක් ආච්චි ලබා දීලා තියෙනවා. ඒක අයිතියක් නෙමෙයි. ආධුනික අයත් රියැලිටි තරග වලට මගේ ආච්චිගේ ගීත ගායනා කරනවා නම් අනිවාර්යයෙන්ම අපෙන් අවසරයක් ගන්න  ඕන.

ඇන්ජලින් මහත්මිය ඇයි ඇයගේ දරු මුණුපුරන්ව ගීත ක්ෂේත‍්‍රයට එක්කරගෙන ආවේ නැත්තේ?

ආච්චිට ඉන්නේ දුවලා දෙන්නෙක්. මගේ අම්මා තමයි ඇයගේ පොඩි දුව. මගේ ආච්චි ගායන ක්ෂේත‍්‍රයේ කොයි තරම් ප‍්‍රවීන ජනප‍්‍රිය ගායිකාවක් වුණත් එයාගේ දුවලා දෙන්නා ගායනයට එනවට ආච්චි කැමති වෙලා නැහැ. මොකද ක්ෂේත‍්‍රයේ වෙන සමහර දේවල් ගැන ආච්චිට ලොකු පැහැදීමක් තිබුණේ නැහැ. ආච්චි දරුවන්ට විතරක් නෙමෙයි මුණුපුරු මිනිපිරියන්ටත් මේ ක්ෂේත‍්‍රයට එන්න කියලා බල කළේ නැහැ. ඇත්තම කතාව ආච්චි කැමති වුණේ නැහැ එයාගේ දරු මුණුපුරන් කවුරුත් මේ ක්ෂේත‍්‍රයට එනවට. ගීත ගායනා නොකළට ආච්චිගේ දරු මුණුපුරන්ට ගීත ගායනා කරන්න පුළුවන්.

ඇන්ජලින් ගුණතිලක කියන්නේ හරිම වෙනස් අදහස් දරන කෙනෙක්. ආච්චි අපි මුණුපුරන් හැමෝටම එක සමානව ආදරේ කළා. එයා සින්දු කියලා උපයන මුදල් හරි සමානව පල්ලියට, පවුලට, දරුමුණුපුරන්ට, අසනීප රෝගී දරුවන්ට බෙදුවා. ඒ වගේම මගේ ආච්චි ඇගේ නිවසට එන කිසිම කෙනෙක්ව කන්න නොදී යවන්නේ නැහැ. දුප්පත් ගොඩක් අයට මගේ් ආච්චි මාසිකව ගෙදරට බඩු මල්ලක් බෙහෙත් ගන්න මුදල් අනිවාර්යයෙන්ම දෙනවා. ආච්චි කරන වැඬේ හරියට කරන නිසා ඇය ගීත ගායනා කරන්න ලොකු මුදලක් අයකළා. ඒක ඇගේ ප‍්‍රතිපත්තියක්. ඇය කවදාවත් අඩු මුදලට ගීත ගයන්න ගියේ නැහැ.

ඇන්ජලින් මහත්මියගේ ගීත ඉදිරියට ගෙනියන්න ඉමාල් ගායන ක්ෂේත‍්‍රයට එනවාද?

මම ආවත් වෘත්තිය මට්ටමෙන් ගායන ක්ෂේත‍්‍රයට එන්නේ නැහැ. ආච්චි වෙනුවෙන් යම් තැනක ගීත ගයන්න ආරාධනා ලැබුණොත් ගීත ගයනවා. මම දැනට ව්‍යාපාරයක් කරගෙන යනවා.

මගේ ආච්චිගේ හඬට සමාන වෙන්න මේ ලෝකේ කිසිම කෙනෙකුට බැහැ.

ඇන්ජලින් මහත්මියගේ තෙමස් පූර්ණ පිංකමක් හෝ උපහාරයක් සිදු වෙනවද?

දානමය පිංකමක් අපි සුදානම් කරගෙන යනවා. වසරක් සපිරීම නිමිත්තෙන් නම් ලොකු පිංකමක් උපහාරයක් කරන්න හිතාගෙන ඉන්නවා.

20190606Imalka-3