> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# දිට්වා සුළි කුණාටුව පිළිබඳ “ජාතික දෘශ්‍ය වාර්තාව” සඳහා ඡායාරූප එක් කිරීමට වෘත්තීය, ආධුනික ඡායාරූප ශිල්පීන්ට සහ මහජනතාවට විවෘත ආරාධනයක්
- URL: https://www.citizen.lk/an-open-invitation-to-professional-amateur-photographers-and-the-public-to-contribute-photos-for-the-national-visual-report-on-cyclone-ditva/
- Published: 2026-01-08T04:45:46.000Z
- Updated: 2026-01-08T04:45:46.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්

දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ බලපෑම සහ යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය පිළිබඳ ජාතික දෘශ්‍ය වාර්තාවක් සකස් කිරීමට ජනාධිපති ශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව කටයුතු යොදා තිබෙන අතර මේ සඳහා ඡායාරූප ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය, වෘත්තීය සහ ආධුනික ඡායාරූප ශිල්පීන්ට මෙන්ම මහජනතාවටද ආරාධනා කර සිටී.

ශ්‍රී ලංකාවේ ඓතිහාසික සිදුවීම් ඇතුළත් ඡායාරූප ලේඛනගත කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා වන රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම ඡායාරූප එක්රැස් කිරීම සිදු කෙරේ.

මෙම ජාතික දෘශ්‍ය වාර්තා ප්‍රදර්ශනය, 2026 පෙබරවාරි 13 වන දා සිට 17 වන දා දක්වා කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

දිට්වා සුළි කුණාටුව සහ ඉන් ඇති වූ ව්‍යසන තත්ත්වය හමුවේ ජන ජීවිතයට සිදු වූ බලපෑම, අවතැන් වීම්, පීඩාවට පත් වූවන්ට කඩිනම් සහන සැලසීමේ වැඩපිළිවෙළ සහ යථා තත්ත්වයට පත් වීමේ සාමූහික උත්සාහයන්, මානුෂීය ආධාර, ජන ජීවිතය යළි ගොඩනැංවීම ආදිය පිළිබිඹු වන ඡායාරූප මේ සඳහා ඉදිරිපත් කළ හැකිය.

මාධ්‍ය අංශයේ විශේෂ කමිටුවක් විසින් මේ සඳහා සුදුසු ඡායාරූප තෝරා ගනු ලැබේ.

මෙසේ තෝරා ගන්නා ලද ඡායාරූප, ජාතික දෘශ්‍ය වාර්තා ප්‍රදර්ශනයේදී මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරෙන අතර, නිල ඡායාරූප ග්‍රන්ථයෙහිද ඇතුළත් කෙරේ. එසේම, එම ඡායාරූප, නිර්මාණ අයිතිය පිළිබඳ තොරතුරුද සමඟ මාර්ගගත දෘශ්‍ය ලේඛනාගාරයක ප්‍රදර්ශනය කිරීම සිදු කරනු ලැබේ.

2026 ජනවාරි 16 දිනට පෙර, පහත සඳහන් මාර්ග ඔස්සේ ඡායාරූප ඉදිරිපත් කළ හැකි ය.

• +94 71 985 9461 WhatsApp අංකය

- www.regeneration.gov.lk වෙබ් අඩවිය
- pmdphotoal@gmail.com විද්‍යුත් තැපෑල

එසේ නොමැති නම්, පහත ලිපිනය වෙත ගෙනැවිත් භාර දිය යුතුයි.  
ඡායාරූප ඒකකය,  
ජනාධිපති මාධ්‍ය අංශය,  
4 වන මහල,  
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් ගොඩනැගිල්ල,  
ජනාධිපති මාවත,  
කොළඹ 01,

එමෙන්ම ඉදිරිපත් කරන සෑම ඡායාරූපයක් සමඟම,

- ඡායාරූප ශිල්පියාගේ නම
- ස්ථානය (දිස්ත්‍රික්කය/නගරය/ගම)
- දිනය හෝ ආසන්න දිනය
- ඡායාරූපයේ දැක්වෙන දේ පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කළ යුතුය.

මෙම ඡායාරූප ඉදිරිපත් කිරීමේදී, බලපෑමට ලක් වූ පුද්ගලයින්ට සහ ප්‍රජාවන්ට අගෞරවයක් හෝ අගතියක් නොවන පරිදි කටයුතු කරන ලෙසත්, විශේෂයෙන්ම, ජීවිත අහිමි වීම, තුවාල වීම හෝ දරුවන් සම්බන්ධයෙන් ඡායාරූප ඉදිරිපත් කිරීමේදී අදාළ පාර්ශ්වයන්ගේ කැමැත්ත සහිතව, මානව ගරුත්වය පෙරටු කර, වගකීමකින් යුතුව කටයුතු කරන ලෙසත් ජනාධිපති මාධ්‍ය අංශය, ඡායාරූප ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

*ජනාධිපති මාධ්‍ය අංශය*