රට තුළ නොසන්සුන්කාරී තත්වයන් ඇති කරන අයට අනතුරු ඇඟවීමක්.

0
270

යඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6 න් අවසන්වූ බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශ වෙත ඊයේ රාත්‍රී 9.00 සිට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ද අද අලුයම 4 ට ඉවත් කෙරුණා.

මේ අතර පවතින තත්වය තුළ නිතීය උපරිම ලෙස යොදවන්නැයි, පොලිස් මූලස්ථානය සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙනවා.

වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්, කළහකාරි සිදුවීම් ඇති කිරීමට උත්සහ කරන පිරිස් වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කළා.

රට තුළ නොසන්සුන් තත්වයක් ඇති කිරීමට යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායම් උත්සහ කරන්නේ නම් හදිසි නීතිය යටතේ අවශ්‍ය නම්, උපරිම බලය ක්‍රියාත්මක කිරිමට සූදානම් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.

මේ අතර 21 වනදා ප්‍රහාරයට සම්බන්ධ සියලු ත්‍රස්තයින් මේ වනවිට අත්අඩංගුවට ගෙන අවසන් බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ, ජනතාව අසත්‍ය ප්‍රචාරවලට රැවටී නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති කිරිම, ආරක්ෂක අංශ ඉදිරි කටයුතුවලට බාධාවක් බවයි.