WhatsApp ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්.

0
1926

වට්ස්ඇප් පරිශීලකයන් ඉලක්ක කර සිදුවීමට ගිය නිරීක්ෂණ ප්‍රහාරයක් පිළිබඳව එම සමාගම තොරතුරු හෙළිදරව් කරගෙන තිබේ.

ඉතා දියුණු මට්ටමේ සයිබර් ප්‍රහාරකයෙකු විසින් මෙම ප්‍රහාරය මෙහෙයවමින් සිටි බවද අදාළ සමාගම හෙළිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තෝරාගත් පරිශීලකයන් සංඛ්‍යාවක් ඉලක්ක කර මෙම ප්‍රහාරය සිදුකරන්නට සැලසුම් කර තිබූ බව වට්ස්ඇප් සමාජජාලය අයත් ෆේස්බුක් සමාගම පවසනවා.

මේ හේතුවෙන් වට්ස්ඇප් ගිණුම් යාවත්කාලීන කරන ලෙස ලොව පුරා බිලියන එකයි දශම පහක් පමණ වන සිය පාරිභෝගිකයන්ගෙන් ෆේස්බුක් සමාගම ඉල්ලීමක්ද කර තිබුණා.

මෙම ප්‍රහාරය පිළිබඳව තොරතුරු හෙලිදරව් කරගෙන තිබුණේ මෙම මස මුල් භාගයේදීයි.

වට්ස්ඇප් පරිශීලකයන් හඬ ඇමතුම් ඔස්සේ ඉලක්කගත උපාංගයකට සම්බන්ධ කරමින් ප්‍රහාරය සිදුකරන්නට සැලසුම් කර ඇති බව අනාවරණවී තිබෙනවා.

එහිදී අදාළ ඇමතුමට ග්‍රාහකයා සම්බන්ධ නොවුනද නිරීක්ෂණ මෘදුකාංගය දුරකතනයේ ස්ථාපිත විය හැකි බව සඳහන්.

මෙම ප්‍රහාරය පිළිබඳව පළමුවෙන් හඳුනාගෙන ඇත්තේ වට්ස්ඇප් ආරක්ෂණ කණ්ඩායම වන අතර අනතුරුව එම තොරතුරු මානව හිමිකම් කණ්ඩායම් ඇතුළු තෝරාගත් පාර්ශවයන් කිහිපයක් වෙත ලබාදී තිබුණා.