ලංකාවේ විවාහ නීතිය උපයෝගී කර ගනිමින් කළ ජාවාරමක් කටුනායකදී මාට්ටු.

0
620

ශ්‍රී ලංකාවේ විවාහ නීතිය උපයෝගී කර ගනිමින් ප්‍රංශයේ පුරවැසිභාවය ලබා ගැනීමේ ජාවාරමක නියැලී සිටි බංගලාදේශ ජාතිකයන් සිවුදෙනෙකු ඊයේ (13) දින සවස ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන – විගමන දෙපාර්තමේන්තු සහකාර පාලකවරයා කටයුතු කර තිබෙනවා .

මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රංශයේ සරණාගතයින් සේ ලියාපදිංචි වී ඇති 35 හැවිරිදි බංගලාදේශ ජාතික පිරිමි දෙදෙනා ඊයේ දින පස්වරු 2.00 ට ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 372 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ පැමිණ තිබුණා .

එහිදී ගුවන් තොටුපළ ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මොවුන්ගෙන් ශ්‍රී ලංකාවට පැමිණීමේ හේතුව විමසත් දී , ඒ සඳහා ප්‍රමාණවත් පිළිතුරක් දීමට අපොහොසත් වී තිබීම නිසා , ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු ඔවුන් ප්‍රංශය වෙත පිටුවහල් කිරීමට පියවර ගෙන තිබෙනවා .

ඒ අනුව ඕමාන් ගුවන් සේවයේ ගුවන් යානයට මොවුන් දෙදෙනා නංවා ගැනීමට සූදානම් වත්ම , ඔවුන් එම ගුවන්යානා කාර්යය මණ්ඩලයට බාධා කරමින් , කෑකෝ ගසමින් විරෝධතාව පළ කළ බව ද වාර්තා වෙනවා.

ඒ නිසා මොවුන් දෙදෙනා එම ගුවන් යානයට නංවා ගැනීම පසෙක ලා ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ට භාර දීමට ගුවන්යානා කාර්යය මණ්ඩලය පියවර ගැනුණා.

ඒ අතර ඊයේ දින පස්වරු 4.20 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් තවත් බංගලාදේශ ජාතිකයන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර , ඔවුන් අතරින් 50 හැවිරිදි පියෙකු සහ 20 හැවිරිදි දුවෙකු සිට තිබෙනවා.

ඔවුන් දෙදෙනා ගුවන් තොටුපළ වෙත පැමිණි පසු , මුලින්ම පිටුවහල් කිරීමට සූදානම් කර තිබූ බංගලාදේශ ජාතිකයන් දෙදෙනා සමඟ කථා බස් කරනු දුටු ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මොවුන් සිවු දෙනාම , තම කාර්යාල පරිශ්‍රය තුළට කැඳවා පරීක්ෂණ ආරම්භ කර තිබුණා. .

එහිදී මෙම පියා සහ දුවගේ ගමන් මල්ලේ අනෙක් බංගලාදේශ ජාතිකයන් දෙදෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර වල ඡායා පිටපත් දෙකක් ද හමු වී ඇත.

පසුව මොවුන්ගෙන් දීර්ඝව සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම සියලු සැලසුම් අනාවරණය කර ගැනීමට ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වී තිබෙනවා .

ශ්‍රී ලංකාවේ පවත්නා විවාහ නීතිය අනුව , දින 03ක් ශ්‍රී ලංකාවේ ගත කළ පසු , ශ්‍රී ලංකාව තුළ තම විවාහය ලියාපදිංචි කළ හැකි නිසා ,එම අවස්ථාව භාවිතා කර , මෙරට තුළදී විවාහය ලියාපදිංචි කර , පසුව එම පුරුෂයා ප්‍රංශය වෙත ගොස් , තම බිරිඳ සඳහා පුරවැසිභාවය ඉල්ලා සිටීම මෙම ජාවාරමයි .

මීට පෙර අවස්ථා ගණනාවකදී ද මෙවැනි සිදු වීම් ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන තිබෙනවා .

ඉන්පසුව ප්‍රංශයේ සිට පැමිණි බංගලාදේශ ජාතිකයන් දෙදෙනා ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 373 දරන ගුවන් යානයෙන් සහ දුව සහ පියා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 191 දරන ගුවන් යානයෙන් ද ඊයේ දින සවස 5.30 ට පමණ ආපසු ඔවුන් පැමිණි රටවල් වෙත පිටුවහල් කෙරුණා.