පොලිස්පති ධූරයෙන් ඉවත් කරන්න පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීමට සැරසෙයි.

දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පතිවරයා එම ධූරයෙන් ඉවත්කිරීමට විපක්ෂය කැමැත්ත පළකරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත්කිරීමට සූදානම් යැයි සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (10) ප්‍රකාශ කළා.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා මෙසේද පැවසුවා,

“පොලිස්පති ඉවත්කිරීමට නොහැකිවීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා ආපු එකක් නෙමෙයි. ඊට කලින් සිට පවතින රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීමේ පනතට අනුව එය කළ යුත්තේ.

ඒ පනත යටතේ පොලිස්පති ඉවත් කිරීමට නම් පාර්ලිමේන්තුවේ කමිටුවක් පත්කළ යුතුයි. එම කමිටුව ඔහු වැරදිකාරයෙක් කළොත් ඉන්පසුව ඒ සම්බන්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුයි. එම ක්‍රමවේදය මිස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මීට බලපාන්නේ නැහැ.”

එමෙන්ම මෙහිදී වෙසක් උත්සවය ගැන කරුණු දැක්වූ සභානායකවරයා කියා සිටියේ මෙවැන්නක්,

“අගමැතිතුමා ඊයේ මල්වතු, අස්ගිරි මහානායක හිමිවරු හමුවීමට ගියා. එහිදී මහානායක හිමිවරු විහාරාධිපති හිමිවරු කැමති ආකාරයකට වෙසක් උත්සවය පැවැත්වීමට අවසර දුන්නා. රජය ඊට මැදිහත්වෙන්නේ නැහැ. නමුත් අවශ්‍ය උදව් ආධාර දෙනවා. රජය කිසිදෙයකට තහංචි පනවන්නේ නැහැ. ගම්වාසීන් හා එකතු වී විහාරාධිපති හිමිවරුන්ට කැමති ලෙස කටයුතු කළ හැකියි.”