අයි.එස් සමඟ සමීප සබඳතා පැවැත් වූ කෝටිපති ව්‍යාපාරිකයෙක් කොටුවෙයි.

0
1669

අයිඑස් ත්‍රස්තවාදී සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වූ බව කියන වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (15) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා මාබෝල ප්‍රදේශයේ මහල් තුනකින් යුත් සුවිසල් නිවසක සහ ඒ අසල පිහිටි තවත් සුඛෝපභෝගී නිවසක හිමිකරුවකු බවත් ඔහුගේ බිරියන්දෙදෙනා සහ දරුවන් මෙම නිවාසවල පදිංචිව සිටින බවත් නිවාස දෙකේම ඉහළ මහල්වල පිහිනුම් තටාක තිබෙන බවත් පොලිසිය පවසනවා.

ජර්මනියේ නිෂ්පාදිත මෙතෙක් හඳුනා නොගත් වර්ගයක පිස්තෝලයක් සහ උණ්ඩ තොගයක්ද සැකකරු ළඟ තිබී අත්අඩංගුවට ගත් බවසඳහන්.

මොහු සතුව ගමන් බලපත්‍ර දෙකක් තිබූ අතර වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඒවා පොලිස් බාරයට ගෙන තිබෙනවා.

මෙම විදෙස් ගමන් බලපත්‍ර දෙක උපයෝගී කරගනිමින් සැකකරු විදෙස් රටවල් ගණනකට ගොස් ඇති අතර එසේ ගිය විදේශයන් අතර ඩුබායි රටද ඇතුළත් වන බව පොලිසිය සඳහන් කළා.

දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් සමග සැකකරු සමීප සම්බන්ධතා කාලයක සිට පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසුවා.

මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් ඩුබායි රාජ්‍යයේ සිටි කාලයේ සැකකරු එම රටට ගිය අවස්ථාවල ඔවුන්ගේ නිවාසවල නවාතැන්ගෙන සිටි ඇති බවද සඳහන්.

මෙම පාතාල නායකයන් දෙදෙනා සමග සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා සමීප සම්බන්ධකම් පැවැත්වූයේ කුමන අරමුණකින්ද යන්න ගැන සොයා ගැනීමට ද පොලිසිය පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යනවා.

2009 වසරේදී වත්තල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පදවා ජීවිකාව ගෙන ගොස් ඇති මේ පුද්ගලයා මේ වන විට නැව් භාණ්ඩ ප්‍රවාහන (කාගෝ) ආයතනයක හිමිකරුවකු බවත් ආණමඩුව ප්‍රදේශයේ කන්ටේනර් අංගණයක්ද පවත්වාගෙන යන බවත් පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස ජීවිකාව ඇරඹූ මොහු වසර කීපයකින් කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වූයේ කෙසේද යන්න හෙළිකර ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්‍ෂණ පවත්වා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here