> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# මැදපෙරදිග යුද තත්වය හමුවේ බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධාවන් හමුවේ ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
- URL: https://www.citizen.lk/a-discussion-under-the-patronage-of-the-president-on-the-measures-to-be-taken-in-the-face-of-disruptions-to-energy-supply-networks-due-to-the-war-situation-in-the-middle-east/
- Published: 2026-03-16T04:37:12.000Z
- Updated: 2026-03-16T04:37:12.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දේශපාලන

March 16 (Citizen.lk News) - මැදපෙරදිග යුද තත්වය හමුවේ ගත යුතු ඉදිරි පියවරයන් පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මැදපෙරදිග යුද්ධය හමුවේ ගල්අඟුරු, ගෑස්, තෙල් ආදී බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධාවන් සහ එම බාධාවන්ට මුහුණදෙමින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් වෙනුවෙන් එක් එක් අංශයන්ගෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග හා යෝජිත විකල්ප පිළිබඳ මෙහිදී සමාලෝචනය කෙරුණා.

මෙම තත්ත්වය ලංකාවට පමණක් නොව ලෝකයේ සියලු රටවලට විශාල බලපෑමක් එල්ල කර ඇති බවත් ඊට මුහුණ දීමේදී ඩිජිටල් කේත ක්‍රමය, නිවසේ සිට රාජකාරී සිදු කිරීම වැනි විකල්ප ක්‍රමවේදයන් නිසි සැලසුමකින් යුතුව ක්‍රියාත්මක කිරීම තුළින් ජාතික ආර්ථිකයට වන බලපෑම අවම කර ගැනීමට හැකි වන බවත් එමෙන්ම මතු වන නව තත්වයන් පිළිබඳ නිරන්තර ජනතාව දැනුවත් කරන විධිමත් සන්නිවේදනයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා විසින් මෙහිදී ‍පෙන්වා දී සිටියා.

දැනට ක්‍රියාත්මක ඩිජිටල් කේත ක්‍රමය යටතේ මින් පෙර ලියාපදිංචි නොවූ පුද්ගලයන්ට මතු වී ඇති බාදා කඩිනමින් මගහරවාගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ද ඒකාබද්ධ කරගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ මතු වන නව තත්ත්වයන්ට මුහුණ දීමේදි ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී අවධානය යොමු විය. මතු වී ඇති නව තත්ත්වය පසුගිය කොරෝනා සමයේ තත්ත්වයන්ට වෙනස් තත්ත්වයක් බවත් එබැවින් නව තත්ත්වයට ගැලපෙන ලෙස විකල්ප ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමෙන් ඉන්ධන පිරිමැසුම් ක්‍රමවේද බලාත්මක කළ යුතු බවටත් මෙහිදී සාකච්ඡා විය. 

මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ යාවත්කාලීන වන නව තත්ත්වයන් පිළිබඳ නිරන්තර අධික්ෂණය පවත්වාගෙන යමින් ජාතික ආර්ථිකයට වන හානිය අවම කර ගැනීම සඳහා ගත හැකි විකල්පයන් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මේ අවස්ථාව සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක, ජනාධිපති ඩිජිටල් ආර්ථික උපදේශක හාන්ස් විජේසූරිය, ජනාධිපති ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාශල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජානක රාජකරුණා, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.