වසර 200ක් පැරණි හිස්කබල් 9ක් නැවතත් ලංකාවට.

එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ තබා තිබෙන මෙරට ආදී වාසීන්ට අයත් හිස්කබල් 09 ක් යළි ලබාදීමට එම විශ්ව විද්‍යාලය තීරණය කර ඇති බව වාර්තා වනවා. මෙම හිස්කබල් වසර 200 ක් පමණ පැරණි බවට සැලකෙනවා.

මෙම හිස්කබල් ආදිවාසි නායක උරුවරිගේ වන්නිලා ඇත්තන් හට යළි ලබාදීමට එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ ව්‍යුහ විද්‍යාව පිළිබඳ පර්යේෂකයන් එකඟවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. එම හිස්කබල් යළි භාරදීමේ අවස්ථාවට ආදිවාසි නායකයා එඩින්බරෝ විශ්ව විද්‍යාලයට පැමිණීමට නියමිතව තිබෙනවා.

සාම්ප්‍රදායික දඩයම්කරුවන් සහ වනාන්තර වැසියන් ලෙස ආදිවාසීන්ගේ ඉතිහාසය විදහා දක්වන ඔවුන්ගේ ආයුධ එකතුවක් සහ හිස් කබල් ප්‍රදර්ශනය කිරීමට ද එඩින්බරෝ විශ්ව විද්‍යාලය සැලසුම් කර තිබෙනවා.

සිවිල් යුද්ධය සහ ඉඩම් අහිමි වීම හේතුවෙන් ලෝකයේ වෙසෙන ආදිවාසීන්ගේ ජීවන රටාවට විශාල බාධාවක් ඇති වී ඇති අතර පරම්පරා දෙකකට වඩා වැඩි කාලයක් යාමට පෙර ඔවුන්ගේ සාම්ප්‍රදායික ජීවිත අහිමිවී යනු ඇති බවයි පර්යේෂකයින් අනතුරු අඟවා සිටින්නේ.

” මියගිය අපේ ආදී මුතුන් මිත්තන් අපේ සමාජයට ඉතා වැදගත්. සෑම වසරකම අපි විශේෂ උත්සවයක් පවත්වනවා අපෙන් වෙන්වෙලා ගිය ආදිවාසින් සිහිකරලා. අපේ මුතුන් මිත්තන්ගේ ශරීර කොටස් එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ වසර ගණනාවක් පුරා පැවතියත් ඔවුන්ගේ ආත්මයන් අප සමග සිටියේ. අපි විශ්ව විද්‍යාලයට ස්තුතිවන්ත වෙනවා අපේ මුතුන් මිත්තන්ගේ අවශේෂ කොටස් යළි භාරදෙන්න තීරණය කළාට” සිය ආදී මුතුන් මිත්තන්ට අයත් හිස්කබල් යළි ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආදිවාසී නායක උරුවරිගේ වන්නිලා ඇත්තන් ප්‍රකාශ කර සිටියා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න