ජනාධිපති වීම හැර වෙනත් අරමුණු වලින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා යයි පැෆරල් සංවිධානයෙන් චෝදනා

විවිධ පක්‍ෂවලට සහාය දීමේ අරමුණින් සහ ජනප්‍රියත්වය වෙනුවෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයන් ඉදිරිපත්වීම සම්බන්ධයෙන් නව නීති සකස් විය යුතු බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ මෙවරද දේශපාලන පක්‍ෂවලට සහාය දක්වන අපේක්‍ෂකයන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සූදානම් වී ඇති බවයි.

” මෙවර ජනාධිපතිවරණය සඳහා පක්ෂ 17 ක් සිය අභිලාශය සඳහන් කර තිබෙනවා මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන්. එසේ ඉදිරිපත් වෙන බහුතරයක් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ වලට සහය දැක්වීමට හෝ මැතිවරණයට ඉදිරිපත්වීමෙන් තමන්ට ලැබෙන ජනප්‍රියතාවය හෝ වාසි වෙනුවෙන් තරග කරන්නේ. පසුගිය ජනාධිපතිවරනයේදී අපේක්ෂකයින් 19 දෙනෙක් ඉදිරිපත් වුනා. එසේ ඉදිරිපත් වූ 17 ක් එකතුව ලබා ගන්න හැකිවුයේ ජන්ද 138,000ක් පමණයි. මෙසේ මැතිවරණයට ඉදිරිපත් වීම නිසා සිදුවන්නේ මැතිවරණ කොමිසමට අමතර මුදලක් වැය වීමක් පමණකි. යම් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට මැතිවරණයට තරග කිරීමේ අයිතිය වළක්වාලන්න හැකියාවක් නැහැ. කෙසේ වුවත් මැතිවරණයට තරග කරන බවට පවසා පසුව ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලට සහ පුද්ගලයින්ට සහය පලකිරීමට කටයුතු කරනු ලබන අපේක්ෂකයින් සහ කණ්ඩායම් සමබන්ධයෙන් ඉදිරියේදී නව නීති ගෙන ආ යුතු බවයි” පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඊයේ දිනය වනවිට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා අපේක්‍ෂකයන් 6 දෙනෙකු ඇප මුදල් භාරදී තිබුණා. ඒ, පිළිගත් දේශපාලන පක්‍ෂ 3 කින් සහ ස්වාධීන කණ්ඩායම් 3 කින්. ගෝඨාභය රාජපක්‍ෂ, සමන් ප්‍රසන්න පෙරේරා සහ අජන්තා වීරසිංහ යන අය පිළිගත් දේශපාලන පක්‍ෂවලින් ඇප මුදල් භාර දී තිබෙනවා. ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ සහ පූජ්‍ය අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි ඇප මුදල් තැන්පත් කර ඇති ස්වාධීන අපේක්‍ෂකයන් වනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න