ගිනිගත්හේනේ නාය යයි. එක් පුද්ගලයෙක් අතුරුදන්.

0
36

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් මහවැලි ගඟ දෙසට නායගොස් වෙළඳසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන් වී ඇති බව ගිනිගත්හේන පොලීසිය පැවසුවා.

අද(19) අළුයම 2.00ට පමණ මෙම නාය යාම සිදු වි ඇති බව ගිනිගත්හේන පොලීසිය සඳහන් කළා .

ගිනිගත්හේන පොලීසිය අසල ගිනිගත්හේන මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් මෙලෙස නාය ගොස් තිබුණා.

මෙලෙස නායයාමේ අවධානමක් පවතින නිසා පොලිසිය ඉදිරිපිට සිට ගිනිගත්හේන බස් නැවතුම්පොල දක්වා මහනුවර මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා තිබෙනවා.

එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගය දෙසට ගමන් කර බස් නැවතුම්පොල හරහා ප්‍රධාන මාර්ගයට පිවිසෙන ලෙසට ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

නායයාමට ලක් වු වෙළදසැල් සහ ඊට යාබදව පිහිටි වෙළදසැල් ගණනාවක් නායයමේ අවධානමක පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මීට ප්‍රථම හදුනාගෙන එම වෙළදසැල් හිමියන්ට ඉන් ඉවත් වන ලෙස අවස්ථා කිහිපයකදි දැනුම් දි තිබුණා.

අතුරුදහන් වු සේවකයා සොයා යුධ හමුදාව සහ පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇති අතර තවදුරටත් මධ්‍යම කදුකරයට අයහපත් කාලගුණයක් පවතිනවා.