විත්තියේ විරෝධය අධිකරණය පිළිගනී – අලි රොෂාන් නිදහස් වෙයි –

    0
    149

    නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව වන අලි ළඟ තබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නැමැත්තා ඇතුලු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව කොළඹ ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට එම අධිකරණය අද (07) නියෝග කළා.

    මෙම අධිකරණයේ චෝදනා ගොනු කිරීමට එරෙහිව විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් පිළිගැනීමෙන් අනතුරුව ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද මෙම නියෝගය නිකුත් කළා .

    මෙම නඩුව පොදු දේපල පනත සහ වනසත්ත්ව හා වෘක්ෂලතා පනත යටතේ ගොනු කර ඇති බවත් එවැනි චෝදනා යටතේ ගොනු කර ඇති නඩුව ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයේ විභාග කිරීමට බලයක් නොමැති බවට පවසමින් විත්ති පාර්ශ්වය මූලික විරෝධතාවක් ඉදිරිපත් කෙරුණා.

    කෙසේවෙතත් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා වෙනත් මහාධිකරණයක ගොනු කිරීමට බලාපොරොත්තු වන බව රජයේ නීතිඥවරයා දැනුම් දුන්නා. තවද විත්තිකරුවන්ට එරෙහිව පවතින මහේස්ත්‍රාත් අධිකරනයේ නඩු කටයුතු එලෙසටම පවතින බව ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය අවධාරණය කළා.

    මෙම නියෝගය විනිසුරු සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලය විසින් තීන්දු කළා.

    සමරප්පුලිගේ නිරාජ් රොෂාන් වනජීවි දෙපාර්තමේන්තුවේ නිළධාරීන් වන ප්‍රියංකා සංජීවනී සහ උපාලි පද්මසිරි ඇතුළු හත් දෙනෙකුට එරෙහිව වනසත්ව හා වෘක්ෂලතා පනත සහ පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබුණා. නීති විරෝධි ලෙස අලි ඇතුන් හතර දෙනකු ළඟ ගබා ගැනීම සහ ඊට කුමන්ත්‍රණය කිරීම ආදී චෝදනා 24 ක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබුණා.