රට වෙනුවෙන් වගකීම් දරන්න මම සුදානම් කරූ කියයි

ජනතා ඉල්ලීමට අනුව වගකීම් භාරගැනීමට තමා සූදානම් බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය.

මහනුරවට පැමිණි කථානායක කරූ ජයසූරිය මහතා පළමුව අස්ගිරි මහාවිහරය වෙත පැමිණ අස්පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරාකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමියන් බැහැදැක අශිර්වාද ලබා ගත්තේය. අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි කථානායකවරයා මල්වතු පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන් බැහැ දැක අශිර්වාද ලබා ගනුලැබීය.

කථානායකවරයා විසින් ඉන්අනතුරුව මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල් කුඹුරේ ශ්‍රී විමලදම්ම නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. ලබන වසරමේ රටේ පුරවැසියන්ට ඉතාම අභියෝගාත්මක වසරක් බවත්, විශේෂයෙන් මැතිවරණ කීපයක් පැවැත්වීමට නියමිත බව ද කරූ ජයසූරිය මහතා පැවසීය.

ඉදිරියේ දි දෛවයෙන් තමාට ලබා දෙන අවස්ථාවක් වෙතොත් මේ රටට යුක්තිය හා සාධාරණත්වය ඉටු කරන්න තමා ඒ යුතුකම ඉටු කරන බව ද කථානායකවරයා මෙහිදී කියා සිටියේය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට මිසක් තමා කිසි විටෙකත් මැතිවරණයට ඉල්ලුම් කර නොමැති බව ද පැවසු කථානායකවරයා, ඉදිරියේ දී ඒ ගැන බලා සිටින බව ද පැවසීය.

තමාට පදවි ලබන්න පොරකන්න හැකියාවක් නොමැති බවත්, යම් මහජන මතයක් යෝජනාවක් පැමිණියොත් ඒ ගැන සිතා බැලීමට හැකියාවක් ඇති බව ද කරූ ජයසූරිය මහතා කියා සිටියේය.