මව් කිරි නොමැතිව හැඩූ දැරියට කිරි දෙන්න සෙනෙහෙබර අම්මා වරුන් 9 ක් ඉදිරිපත් වෙයි – සිරිපා පුද බිමේ සිදු වූ අපූරු සිදූවීම

    0
    166

    පැය 10 කට ආසන්න කාලයක් කුසගින්නේ සිටි මාස 08 ක් වයසැති දැරියකට ඇගේ මව ශ්‍රීපාදය වැඳ පුදා පැමිණෙන තෙක් මව් කිරි දීම සඳහා වෙනත් කිරි මව්වරුන් 09 දෙනෙක් ඉදිරිපත්වූ පුවතක් නල්ලතන්නිය පොලීසියෙන් වාර්තා වේ.

    මතුගම ප්‍රදේශයේ සිට ශ්‍රීපාද වන්දනාව සඳහා නඩයක් සමග පැමිණ ඇති කාන්තාවක් ඇගේ අටමස් වියැති සිඟිති දියණිය හා පවුලේ සාමාජිකයින් සමග (23) දා රාත්‍රී ශ්‍රීපාද වන්දනාවට නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ගමන් කරමින් සිටියදී අතරමගදී දැරියට දැඩි ශීත තත්වයක් ඇතිවූ නිසා මෙම කාන්තාව ඇගේ මව හා නඩයේ පැමිණ සිටි තවත් ඥාති කාන්තාවක් අත තම දියණිය නල්ලතන්නිය බලා එවා ඇත්තේ, තමන් ශ්‍රීපාදය වැඳ පුදා නැවත පැමිණෙන තෙක් ඔවුන් පැමිණි වෑන් රථයේ ආරක්ෂිතව සිටින ලෙස පවසමිනි.

    කුඩා දැරියගේ මව ඊයේ (24) දා උදැසණ වන තෙක් නල්ලතන්නියට නොපැමිණීම හේතුවෙන් පැය කීපයක් අධික කුසගින්නේ පසුවූ මව්කිරි පමණක් පානය කරන මෙම දැරිය හැඬීමට පටන්ගත් නිසා දැරියගේ මිත්තණිය හා අනෙක් කාන්තාව නල්ලතන්නිය පොලීසියට සිද්ධිය පවසා ඇත.

    එහිදී වහා ක්‍රියාත්මක වූ නල්ලතන්නිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පොලීසිය අසල සිට නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ විකාශනය කරන ශ්‍රීපාද, සමන්ගිර අධිබල ශබ්ද විකාශන සේවාව මගින් මෙම දැරියගේ මවට හැකි ඉක්මණින් නල්ලතන්නිය පොලිස්ථානයට පැමිණෙන ලෙස දන්වමින් කීප වරක් හදිසි පණිවිඩයක් විකාශනය කරනු ලැබීය.

    එම පණිවිඩය විකාශනය කිරීමත් සමග මව නොමැතිව පැය ගණනක් කුසදගින්නේ හඬමින් සිටි මෙම දැරියට කිරි දීම සඳහා නල්ලතන්නිය ප්‍රදේශයේ පදිංචි හා ශ්‍රීපාද වන්දනාවේ පැමිණි කිරි මව්වරුන් 09 දෙනෙක් නල්ලතන්නිය පොලීසිය වෙත පැමිණීම විශේෂ සිද්ධියකි.

    මව් සෙනෙහස උතුරා යන මෙම මව්වරුන් අතර සිටි නල්ලතන්නිය නාග විහාරය අසල ශ්‍රීපාද වන්දනා සමයේදී තාවකාලික වෙළඳසලක් පවත්වාගෙන යන නාවලපිටිය, රොජසන්ගම ප්‍රදේශයේ පදිංචි සුනීතා චන්ද්‍රපාල මහත්මිය දැඩි දරු සෙනෙහසකින් මෙම දැරියට මව් කිරි දීමට ඉදිරිපත් වූ බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති වරයා පැවසීය.

    කිරි මවගේ මව් කිරි පානය කරමින් සිටි මෙම දැරිය අසලට අද පෙ.ව. 08.30 ට පමණ දැරියගේ නියම මව පැමිණීමත් සමග දැරිය දැඩි සතුටකින් තම මව්තුරුලට ගොස් ඇත්තේ කිරි දෙමින් සිටි කිරි මවගේ හා අවට සිටි පොලිස් නිලධාරීන් ඇතුලු සැමගේ දෙනෙත් කඳුළින් තෙත් කරමිණි.

    මෙම දැරියගේ මව නල්ලතන්නිය පොලීසියට පවසා ඇත්තේ, වන්දනාකරුවන් අධික වීම නිසි තමන්ට ශ්‍රීපාද උඩ මළුවේදී හැටන් මාර්ගය නිවැරදිව හඳුනා ගානීමට නොහැකි වීමෙන් රත්නපුර මාර්ගයේ ටික දුරක් යාමට සිදු වීමෙන් නැවත හැටන් මාර්ගයට පැමිණීමට ප්‍රමාද වූ බවය.