බෙලිඅත්තට පළමු දුම්රිය ලබන ඉරිදා

0
125

අභිනවයෙන් ඉදිකළ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා පළමුවරට එම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම ලබන ඉරිදා (06) පෙ.ව. 10.00ට සිදු කෙරේ. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණයෙනි. එම දුම්රිය බෙලිඅත්ත සිට මාතර දක්වා ධාවනය කිරීමට නියමිත වේ.

මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සිදු වන්නේ අදියර තුනකිනි. එහි පළමු අදියර වන්නේ, කිලෝමීටර් 26ක දුරින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසයි. එහි දෙවැනි අදියර කිලෝමීටර් 48ක දුරකින්  යුත් බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වාද, තෙවැනි අදියර කිලෝමීටර් 39ක දුරකින්  යුත් හම්බන්තොට සිට කතරගම දක්වා ද වේ.

 මෙයින් පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මඟ ඉදිකිරිමට ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකානු ඩොලර් මිලයන 278.2 කි. මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන හතරකි. ඒ කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල, බෙලිඅත්ත වේ.

ලංකාවේ දිගම දුම්රිය උමඟද පිහිටා ඇත්තේ මාතර ‍- බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ වේ. නාකුට්ටිගම ප්‍රදේශයේ සිට කැකණදුර දුම්රියපල ආසන්නය දක්වා පිහිටි එම උම‍ඟෙහි දිග ප්‍රමාණය මීටර් 615කි. මීට පෙර දිගම දුම්රිය උමඟ වූයේ සිංගිමලේ උමඟය. එය මීටර් 559 ක දිගකින් යුතුවේ. එමෙන්ම මීටර් 268ක දිගින් යුතු බඹරැන්ද දුම්රිය උමඟද මාතර බෙලිඅත්ත මාර්ගයේ වේ.

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ 10% පමණ දිවෙන්නේ ගුවන් පාලම් මතිනි. එහි මාතර කැකණදුර දක්වා කොටසේ එක් ගුවන් පාලමක්ද, බඹරැන්ද  සිට වැව්රුකන්නල දක්වා කොටසේ කිලෝමීටර් 1.5ක දිගින් යුතු ගුවන් පාලමක්ද වේ. එයින් බඹරැන්ද සිට වැවුරුකන්නල දක්වා වූ ගුවන් පාලම ලංකාවේ උසම හා දිගම දුම්රිය ගුවන් පාලම බවට පත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here