ප්‍රදේශ කිහිපයක රිය අනතුරු 4කින් පුද්ගලයින් 4ක් මියයයි

0
165

ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් මාර්ගය අසල රැඳී සිටි කාන්තාවන් තිදෙනෙකුගේ ගැටීමෙන් සිදුවු අනතුරකින් කාන්තාවක් මිය ගොස් ඇති බව පොලීසිය පැවසීය.

අනතුරින් බරපතල තුවාල ලැබු අනෙක් කාන්තාවන් දෙදෙනා මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය. අනතුර සිදු කිරීම හේතුවෙන් ප්‍රදේශවාසින් විසින් ලොරි රථයේ රියදුරුට පහර දී ඇති අතර ඔහුද රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසීය.

මේ අතර යාපනය නල්ලුර් ප්‍රදේශයේ දී යතුරු පැදියක් හා පා පැදියක් ගැටී සිදු වු අනතුරකින් බරපතල තුවාල ලැබු පාපැදිකරු මිය ගොස් ඇති අතර අනතුරට සම්බන්ධ යතුරු පැදි කරු අත් අඩංගුවට ගෙන තිබේ. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාද්දුව ප්‍රදේශයේදි යතුරු පැදියක් සහ කැබ් රථයක් ගැටී සිදු වු අනතුරකින් බරපතල තුවාල ලැබු යතුරු පැදිකරු සහ පසු පැදිකරු පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මිය ගොස් ඇති බව පොලීසිය පැවසීය.

මේ අතර කලවංචිකුඩි ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් යතුරු පැදිකරු මියගොස් ඇති අතර අනතුරට සම්බන්ධ ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.