දොරේඅප්පා ක්‍රීඩාංගණයේ නම වෙනස් කිරීමට ගෙන ආ යෝජනාවෙන් යාපනය නරග සභාව උණුසුම්වෙයි

යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයේ නම වෙනස් කිරීමට ටෙලෝ සංවිධානයේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කරන ලද ඉල්ලීමක් හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් හා ටෙලෝ සංවිධානයේ දේශපාලනඥයින් අතර නගරසභා රැස්වීම උණුසුම් වී ඇත.

යාපනය මහ නගර සභාවේ සැසි වාරය පසුගියදා පැවති අවස්ථාවේදී නගර සභාව නියෝජනය කරන ටෙලෝ සංවිධානයේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් දොරේඅප්පා ක්‍රීඩාංගණයේ නම වෙනස් කිරීමේ යෝජනාව සභාවට ඉදිරිපත් කොට තිබේ.

එහිදී ටෙලෝ දේශපාලනඥයින් කියා ඇත්තේ වර්තමාන තත්ත්වයට අනුව එම ක්‍රීඩාංගණයට දොරේඅප්පා යන නාමය නොගැළපෙන හෙයින් යාපනයේ උන්නතියට හා ක්‍රීඩා කටයුතු දියුණු කිරීමට වෙහෙස මහන්සි වූ විශාල පිරිසක් සිටි බැවින් දොරේ අප්පා යන එක් නමක් බැවින් එම ක්‍රීඩාංගණය යාපනය පොදු ක්‍රීඩාංගණය වශයෙන් නම් කිරීම වඩා උචිත බවටය.

මේ යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ නාගරික මන්ත්‍රීවරු ටෙලෝ සංවිධානයේ නාගරික මන්ත්‍රීවරුන්ට සැසි වාරය අතරතුර බැණ වදින්නට පටන් ගැනීම නිසා සභාව තුළ උණුසුම් වී ඇති අතරම පසුව එය පාලනය කරමින් අදාළ යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායකයින් සමග සාකච්ඡාවක් පැවැත්විය යුතු බවත් ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් යම් තීරණයකට පැමිණිය යුතු බවත් යාපනය නගරාධිපති එමානුවේල් ආනෝල්ඩ් මහතා ප්‍රකාශ කොට තිබේ.