ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් පෙබරවාරියේ ලංකාවට

0
141

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන පෙබරවාරි මාසයේදී මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් මෙරට යළි ආරම්භ කිරීම පිළිබද සාකච්ඡා කිරීම සඳහා එම නියෝජිත කණ්ඩායම පෙබරවාරි මස මැද භාගයේදී මෙරටට පැමිණීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මංගල සමරවීර, හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු නියෝජිත පිරිසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා පසුගියදා ඇමෙරිකාව බලා පිටත්ව ගියේය.

ඒ අනුව ඊයේ දිනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකර අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය ඇතුළු නිලධාරීන් සමඟ ශ්‍රී ලංකා නියෝජිත පිරිස සාකච්ඡා පවත්වා තිබේ.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අයි.එම්.එෆ්. වැඩසටහන් යලි ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම පිළිබඳ එහි නියෝජිතයින් සමඟ ඉතා ඵලදායී සාකච්ඡාවක් පැවැත්වීමට හැකි වූ බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටින් ලගාඩ් මහත්මිය ද ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමඟ පැවැත්වූ සාකච්ඡාව පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝගාත්මක ආර්ථික පරිසරය සහ රටේ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් පිළිබඳ අදාළ සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව පෙන්වා දී ඇති කළමනාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකාවට සහය ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවදුරටත් සූදානමින් පසුවන බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here