“කඩුවක් තිබූ පමණින් අත්අඩංගුවට ගැනීම සාධාරණ නෑ.” – එන්.එම්. අමීන්

මුස්ලිම් ජාතිකයින් කඩු ලඟ තබාගැනිම සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය හා අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කර සිටියා.

මුස්ලිම් පල්ලි 1,000කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට සෝදිසි මෙහෙයුම් යටතේ සෝදිසි කර ඇති බවත් ඒවාගේ කඩු තිබිලා තියෙන බව ද ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම්. අමීන් මහතා පවසනවා.

මේ බව ජනාධිපතිවරයා ද පවසා ඇති බවත් සිරිතකට මෙන් ඕනෑම ගෙදරක කඩුවක් තිබිය හැකි යැයි ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම සෑම ගෙදරකම සිටින ගැහුණු දරුවන්ගේ හා තමන්ගේ ආත්ම ආරක්ෂාවට මෙවැනි කඩුවක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් අත්අංඩගුවට ගැනීම සාධාරණ නොවන බව ද ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි ද අමීන් මහතා මෙහිදී වැඩිදුරත් කියා සිටියා.

කඩුවක් තියා ගෙන මුස්ලිම්වරු තවත් මොනයම් හෝ දෙයක් සිදු කිරීමට යනවා යන හැඟීම ඇති වීමට ඉඩ තිබූ බවත්, ඔහු මෙහිදී පැවසුවා.

මුස්ලිම් ජනතාව වෙනුවෙන් තමන් අභ්‍යන්තරයේ මෙවැනි කුරීරු කල්ලියක් සිටීම පිළිබඳ කණගාටු වන අතර, මේ පිළිබඳ ස්වයං විවේචනයක් සිදු කල යුතු අතර එයට අවශ්‍ය සියලු දේ සිදු කරන බවත්, මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා අදහස් දක්වමින් කියා සිටියා.

පිටස්තර හදිසි හස්තයක් ඇති බවත් ඔවුන්ට අවශ්‍ය වුයේ මාතෘ භූමිය අස්ථාවර කර විශාල පරිහානියක් සිදු කිරීමට බව ද පැවසු හකීම් මහතා, ඒ සඳහා කිසිදු ඉඩක් ලබා දිය යුතු නොවන බව ද කියා සිටියා.

මේ අතර මොහොමඩ් සහරාන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන් මෙම ත්‍රස්ත ක්‍රියාවලට පෙර බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් බව කාත්තන්කුඩි මදිරියා ජුම්මා පල්ලියේ නියෝජිතයින් අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා.