උපකාරක පන්ති මග හැර මිතුරන් සමඟ මහවැලි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අත්වූ දුක්බර ඉරණම

0
240

නාවලපිටිය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි වීමට ගොස් මිතුරන් සමඟ මහවැලි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලී ජිවිතක්ෂයට පත් වී ඇති අතර දියේ ගිලුණු තවත් පාසල් සිසුවෙක් නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලීසිය පැවසිය.

මෙසේ මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයේ උසස් පෙල හදාරණ නාවලපිටිය හල්ගොල්ල හපුගස්තලාවේ පදිංචි විදුල රසාංජන ඉලංගකොන් නැමති 18 හැවිරිදි පාසල් සිසුවයි.

නාවලපිටිය නගරයේ උපකාරක පන්තිවලට සහභාගි වන බව පවසමින් නිවසෙන් පැමිණ ඇති ජීවිතක්ෂයට පත් සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමඟ මහවැලි ගඟේ නාවලපිටිය හයිපොට් ප්‍රදේශයේදී ගඟට බැස දිය නාමින් සිටියදි අද (13) දහවල් 12 ට පමණ සිසුන් තිදෙනෙක් දියේ ගිලී ඇත.

මහවැලි ගඟ අසල පෞද්ගලික ඉඩමක ගොඩනැගිල්ලක් ඉදි කරමින් සිටි සේවකයන් පිරිසක් විසින් දියේ ගිලුනු සිසුන් දෙදෙනා ගොඩට ගෙන රෝහල් ගත කිරිමේදි එක් සිසුවෙක් ජිවිතක්ෂයට පත් වී ඇති අතර තවත් සිසුවෙක් නාවලපිටිය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

දියේ ගිලුනු අනෙක් සිසුවා බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවද නාවලපිටිය පොලීසිය පැවසිය.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.