ආජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ අවසානය

මීට දෙසතියකට ඉහතදී ආජන්ටිනා පාපන්දු ක්‍රීඩක එමිල්යානෝ සලා ගමන් ගත් සැහැල්ලු ගුවන් යානය අතුරුදන් වීම පිළිබඳව පුවත විදෙස් මාධ්‍ය තුළ දැඩි අවධානයක් හිමිකර ගත්තේය.

මුහුදු පත්ලේ තිබියදී එහි සුන්බුන් සොයාගැනීමට හැකි වී තිබුණේ යානයේ ඉරණම නොවිසඳුණු අබිරහසක් බවට පත්වීම වළකාලමිනි.

ආජන්ටිනා පාපන්දු ක්‍රීඩක එමිල්යානෝ සලා සහ ඔහුගේ ගුවන් නියමුවා සමඟ අතුරුදහන් වූ ගුවන්යානයේ සුන්බුන් අතර තිබී හමු වූ මළසිරුර එමිල්යානෝ සලාගේ බවට හඳුනා ගෙන තිබේ.

මේ අතර කාඩිෆ් සිටි පාපන්දු කණ්ඩායම සහ ලොව පුරා පාපන්දු ක්‍රීඩකයින් රැසක් ඔහුගේ මරණය ගැන තම ශෝකය පළ කර තිබුණි.

ගුවන් අනතුරු පරීක්ෂණ ඒකකය පැවසුවේ අභියෝගාත්මක තත්ත්වයන් යටතේ සිදු කෙරුණු මෙම මෙහෙයුම සඳහා විශේෂඥයන් ද යොදා ගත් බවයි. 

පයිපර් වර්ගයේ සැහැල්ලු යානය ඉංග්‍රීසි ඕඩයට ඉහළින් පියාසර කරමින් තිබිය දී එහි නියමුවා සහ 28 හැවිරිදි පාපන්දු ක්‍රීඩක සලා සමඟ අතුරුදහන් වූයේ මීට දෙසතියකට ඉහතදීය.

එහි සුන්බුන් සොයා ගනු ලැබුණේ ගර්න්සි ප්‍රදේශයට එපිට මුහුදු පතුලෙන් බවට සඳහන්ය.

කාඩිෆ් පාපන්දු කණ්ඩායම විසින් පවුම් මිලියන 15ක් ගෙවා මෙම පාපන්දු ක්‍රීඩකයා මිලදී ගනුලැබූ බව නිවේදනය කරනු ලැබුවේ මෙම අනතුර සිදුවීමට දින දෙකකට පෙරදී වීම විශේෂත්වයකි.

එම නිවේදනයෙන් අනතුරුව, ඔහු ඊට පෙර ක්‍රීඩා කරමින් සිටි නාන්ට් (Nantes) කණ්ඩායමේ සහෝදර ක්‍රීඩකයන් හමුවීම සඳහා ප්‍රංශයට ගොස් ඇති අතර  අනතුර සිදුවූයේ ආපසු පැමිණෙමින් සිටියදීය.

සුන්බුන් අතර තිබී සොයා ගත් මළසිරුර පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමෙන් අනතුරුව  එහි අනන්‍යතාව තහවුරු වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.