අම්පාරෙන් මතුවූ ‘සේනා’ රටම වනසයි

0
160

මෙරට කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරමින් ඇති සේනා දළඹුවා දිවයිනපුරා සියලූ දිස්ත‍්‍රික්කවල පැතිර ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා. ඒ, මෙතෙක් සේනා දළඹුවා පිළිබඳ තොරතුරු වාර්තා නොවූ ප‍්‍රදේශවලින් ද ඊයේ (20) දිනය වනවිට දළඹු උවදුර පිළිබඳ තොරතුරු ලැබීමත් සමගයි.

ඉකුත් ඔක්තෝබර් මාසයේ සේනා දළඹුවා පිළිබඳ පළමුවෙන් තොරතුරු වාර්තා වුණේ අම්පාර ප‍්‍රදේශයෙන්. සේනා දළඹුවා මර්දනය කිරීමේ ඒකකයේ ප‍්‍රධානී, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ අනුර විජේතුංග සඳහන් කළේ බෝග 100කට හානි කිරීමේ හැකියාවක් සේනා දළඹුවා සතුව ඇති බවයි.

සේනා දළඹුවා පළමුව සොයා ගත්තේ බඩ ඉරිගු වගාවෙන්. එහෙත් බඩ ඉරිගු අස්වැන්න නෙලීම මේ වනවිට පවතින්නේ අවසන් අදියරේයි. එබැවින් සෙසු වගාවන්ට ද සේනා දළඹුවා පැතිරයාමේ අවදානමක් මතුව තිබෙනවා.

දැනටමත් කුරක්කන්, උක් සහ එළවළු යන වගාවන්ට සේනා දළඹුවාගෙන් හානි සිදුව ඇතැයි තොරතුරු වාර්තා වී තිබෙනවා.

දළඹුවාගේ ආක‍්‍රමණය හේතුවෙන් දැනටමත් බොහෝ බඩ ඉරිගු වගා විනාශ වී තිබෙනවා. බඩ ඉරිගු වගාකර ඇති භූමි ප‍්‍රමාණයෙන් හෙක්ටයාර 40,000කට අධික ප‍්‍රමාණයකට සේනා දළඹුවා හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

දළඹුවා මර්දනය කිරීමට රසායනික යෙදීමේ ප‍්‍රවණතාව ඉහළ යාමත් සමග ඉතිරිව ඇති අස්වැන්න හෝ අලෙවි කර ගැනීම ගැටළුවක් මතු විය හැකි බවයි ගොවීන් පවසන්නේ.

සේනා දළඹුවාගේ බලපෑමෙන් සම්පූර්ණ වගා හානියක් සිදුව ඇත්නම් ඒ වෙනුවෙන් වන්දි ලබාදීමට ආණ්ඩුව සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් ප‍්‍රකාශ කළා.

සේනා දළඹුවා මර්දනය කිරීමේ කටයුතු මේ වනවිටත් දිවයින පුරා සිදු කෙරෙනවා. එම කටයුතු සාර්ථකව සිදුවන බවයි සේනා දළඹුවා මර්දනය කිරීමේ ඒකකයේ ප‍්‍රධානී, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ අනුර විජේතුංග කියා සිටියේ.

මේ අතර වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කළේ තේ, පොල් සහ රබර් යන වගාවන් සේනා දළඹුවාගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here