අනාරක්ෂිත ඉදි කිරීමක් නිසා පාසල් සිසුවෙකුට අත්වූ ඛේදජනක ඉරණම

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුදුගෙහින්න මහා විද්‍යාලයේ ක්‍රිඩාංගණයේ අලුතෙන් ඉදි කෙරෙමින් තිබූ ‍ක්‍රීඩා මන්ඩපයේ කොන්ක්‍රීට් කණුවක් හිස මත ඇද වැටීමෙන් පාසල් සිසුවෙකු මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලීසිය පවසයි.

මෙසේ ඊයේ(09) පස්වරුවේ මියගොස් ඇත්තේ ගල්කිරියාගම බුදුගේහින්න ප්‍රදේශයේ පදිංචි එල් .කේ .පසිඳු ක්‍රිෂාන් කරුණාතිලක නැමැති මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉගෙනීම් කටයුතු කරන විද්‍යාලයේ ක්‍රීඩා දක්ෂ දරුවකු බව එම දෙමව්පියෝ පවසයි.

පාසල් කාලයෙන් පසු අත්පන්දු ක්‍රීඩාව සහ පාපන්දු ක්‍රීඩාව පාසලේ දරු දැරියන් පාසල් ක්‍රීඩාංගනයේදී පුහුණු වෙමින් සිටියදී ක්‍රීඩාංගණය ආසන්නයේ විදුහල්පතිවරයා විසින් ඉදිකරමින් තිබූ ක්‍රීඩා මණ්ඩපය ආසන්නයේ ගිමන් හරිමින් සිට ඇත.

එම අවස්ථාවේ සිසුන් පිරිසක් එක්ව එම ක්‍රීඩාංගනය ඉදිකරමින් තිබූ කොන්ක්‍රීට් කණුවකට හේත්තු වීමත් සමඟ එය මෙම සිසුවා ගේ හිස මතට කඩා වැටී ඇතැයි ගල්කිරියාගම පොලීසිය කියයි.

බරපතළ තත්ත්වයේ තුවාල ලැබූ පාසල් සිසුවා ගලේවෙල ප්‍රාදේශීය රෝහලට රැගෙන එන විටත් මිය ගොස් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

මෙවර 1වසර පන්ති සඳහා ළමුන් ඇතුලත් කිරීමේදී එම දරුවන්ගෙන් මුදල් අය කරමින් විදුහල්පතිවරයා විසින් මෙම විවේකාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබුණු බවත් පුද්ගලික ආයතන වලින් ගෙන්වා තිබූ කොන්ක්‍රීට් කණු කිසිදු සවි කිරීමකින් තොරව ඉතා අනාරක්ෂිත ආකාරයෙන් ඉදි කිරීම නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි ක්‍රීඩාංගණයට එක්වූ දෙමව්පියෝ චෝදනා කරන්නට විය.

පාසැලේ දරුවෙක් මේ ආකාරයෙන් මිය ගොස් තිබුනද පස්වරුව වෙන තෙක්ම විදුහල්පතිවරයා පාසැලට හෝ රෝහලට නොපැමිණි බවද දෙමාපියෝ චෝදනා කරන්නට විය.

එමෙන්ම එම ස්ථානයට රැස් වූ දෙමව්පියෝ ක්‍රීඩා මන්ඩප සවිකර තිබූ අනිත් කණු කීපයක් පෙරළා එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන්ට පෙන්වා දුන්නේ මෙම කොන්ක්‍රීට් කණු මහපොළොවට හෝ එහි අඩිතාලමට කිසිදු සම්බන්ධතාවයක් නොමැතිව ඉතා අනාරක්ෂිත ලෙස ඉදිකර තිබුණු ආකාරයයි.

ගල්කිරියාගම පොලීසියේ නිලධාරීහු පාසලට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබු අතර දෙමාපියෝද පාසලේ නොසන්සුන් කාරී ලෙස හැසිරෙන්නට විය.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න