Citizen.lk
 

එයාට ලස්සනට සිංදු කියන්න පුළුවන්. හැබැයි එක ගීතයක් නිර්මාණය කරපු ගමන් ගායිකාවක් වෙන්නේ නැහැ." - ධනංජය බිරිඳගේ හැකියාව ගැන කතා කරයි

එයාට ලස්සනට සිංදු කියන්න පුළුවන්. හැබැයි එක ගීතයක් නිර්මාණය කරපු ගමන් ගායිකාවක් වෙන්නේ නැහැ.
Sat 30 June 2018 3:00 pm
1,725 views


මේ දිනවල අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයකම ප්‍රධාන චරිතය රඟපාන ධනංජය සිරිවර්ධන සති අන්ත පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්චාවකට එක් වුණා. මේ එහිදී ඔහු දක්වපු අදහස්.

“සිල්ලර සමනල්ලු” නාට්‍යයේ “නින්ජා” වෙනස්ම චරිතයක් නේද.. ?

ඔව් .. “නින්ජා” කියන්නේ සිල්ලර චණ්ඩියෙක් . ඒ චරිතය තුළ යම් මට්ටමකට හාස්‍යය ගැබ්වෙලා තියෙනවා.. සාමාන්‍යයෙන් ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක හාස්‍යය චරිතය වන්නේ එහි ඇති උප ප්‍රධාන චරිත. කතාවක ප්‍රධාන චරිතය හාසේ‍යාත්පාදක චරිතයක් ලෙසට මතුකිරීම අලුත් දෙයක්.. එවැනි චරිතයක් මටත් නැවුම් අත්දැකීමක් . මම මීට කලින් මේ වගේ චරිතයක් කරලාම නැහැ..

යම් චරිතයක් සාර්ථක වූ විට එබඳු චරිත සඳහා දිගින් දිගටම ආරාධනා ලැබිම, එබඳු චරිත තුළම කොටුවන්නට වීම නළු නිලියන්ට සිදුවනවා.. මින් මතු ඔබටත් “නින්ජා” වැනි හසේ‍යා්ත්පාදක චරිත සඳහාම ආරාධනා ලැබුණොත් .. ?
කිසි ප්‍රශ්නයක් නැ.. බාරගන්නවා.

ඒකාකාරී චරිතවලට කොටුවන්නට වීම ඔබට ගැටලුවක් ‍නෙවෙයිද? 
එහෙම වන්නේ නිර්මාණයේ ඒකාකාරී බව නිසා හෝ චරිතයේ ඒකාකාරී බව නිසා හෝ ‍නෙවෙයි.. ඒ විදියට ඒකාකාරී චරිත මැවීමක් වනවා නම් ඊට වගකිව යුතු වන්නේ නළුවා.

ඒ පැහැදිලි කළොත් ..
මෙහෙමයි. මට තවත් ටෙලි නාට්‍යයක “ නින්ජා” ට සියයට සියයක් සමාන චරිතයක් හෝ ඇතැම් විට මෙම චරිතයම හෝ ලැබුණා යයි කියමු . ඒ චරිතය “සිල්ලර සමනල්ලු” ටෙලි නාට්‍යයේ “නින්ජා” විදියටම රඟපානවද ඊට වඩා වෙනස්ම ආකාරයට රඟපානවද කියන එක තීරණය කරන්න නළුවෙක් විදියට මට හැකියාව තිබිය යුතුය. එකම චරිතය දහ විදියකට හෝ රඟපාන්න මට පුළුවනි. ඒ නිසා ලැබෙන පිටපත්වල තියෙන්නේ එකම විදියේ චරිතද විවිධාකාර චරිතද කියන එක මට ප්‍රශ්නයක් ‍නෙවෙයි .

මෑත කාලයේ ධනංජයට විවිධ චරිත රඟපෑමට අවස්ථාව උදා වුණා නේද..?
ඔව් .. “ සී රජ” සහ “ මිල්ලෑව වලව්ව“ ටෙලි නාට්‍යය ඒ අතරින් විශේෂයෙන් මතක් කළ යුතුයි. “ මිල්ලෑව වලව්ව“ ටෙලි නාට්‍යයේ මම පියා සහ පුතුන් දෙදෙනා ලෙස චරිත තුනක්ම රඟපෑවා.. ඒ ටෙලි නාට්‍යය දෙකම ප්‍රශස්ත මට්ටමේ නිර්මාණ

කොහොමද දැන් නිවේදන කටයුතු ..?
සුපුරුදු විදියට කරගෙන යනවා..

ධනංජය වැඩි කැමැත්තක් දක්වන්නේ නළුවකු විදියට රැඳෙන්නටද නිවේදන ක්ෂේත්‍රය තුළ රැඳී ඉන්නද.. ?
රංගනයට වැඩි කැමැත්තක් දක්වනවා.. නමුත් නිවේදනයත් මම තෘප්තියෙන් සතුව කරන කටයුත්තක්..

ඔබේ බිරිඳ ශෂිනි දැන් ගායිකාවක්.. ?
ඇය ගායිකාවක් ‍නෙවෙයි.. ඒත් ඇයට ගායිකාවක වීමට අවශ්‍ය සියලු සුදසුකම් තියෙනවා. ඒ නිසා ගීතයක් ගායනා කළා. ගීතයක් ගැයූ පමණින් ගායිකාවක් වන්නේ නැහැ.. දිගටම සංගීතයේ රැඳෙනවද කියන එක නම් ඇගෙන්ම තමයි අසන්නට වන්නේ..

ඔබේ පියා සුනිල් සිරිවර්ධන සහ නැන්දා චන්ද්‍රිකා සිරිවර්ධන සුභාවිත සංගීතයට , හිංදුස්ථානි රාගධාරී සංගීතයට නැඹුරු වෙද්දි බිරිඳ බටහිර සංගීතයට යොමුවීම ගැන මොකද හිතෙන්නේ..
ශෂිනිගේ කැමැත්ත සහ දක්ෂතාවය තියෙන්නේ බටහිර සංගීතයට.. ඇගේ හඬ සහ කුසලතා ඊට සුදසුයි . එහි වරදක් මම දකින්නේ නෑ.. පෙරදිග මෙන්ම බටහිර සංගීතයත් මම නම් අගය කරනවා..මේ දිනවල ඇය තමන්ගේ දෙවැනි ගීතයට සූදානම් වනවා. එයත් ඇයට ගැළපෙන බටහිර සංගීතයට නැඹුරු ගීයක්..

ධනංජය දැන් කලාවේ තවත් පැතිකඩකට යොමුවෙලා තියෙනව නේද.. ?
ඔව්.. මම සම්පත් ජයවීර සමග එකතුවෙලා “ප්‍රාණ” නමින් මාස 6ක රංගන වැඩමුළුවක් ඇරඹුවා. එහි පළමු කණ්ඩායමේ පාඨමාලව අවසන්. දෙවැනි කණ්ඩායමේ පාඨමාලාව මේ වසරේ අගෝස්තු මාසයේ අරඹන්නට හිතාගෙන ඉන්නවා.. ඊට සහභාගි වන්නට කැමති අයට ඒ ගැන වැඩිදුර තොරතුරු දැනගන්නට අවශ්‍ය නම් 0764500305 ට අමතලා දැනගන්නට පුළුවන්..

කලා දිවියේ ඉදිරි තොරතුරු මොනවාද.. ?
මගේ කතා සංකල්පයක් අනුව මම තවත් කෙනෙකු සමග එකතුවෙලා කරපු පිටපතක් සිනමාවට ගෙනෙන්නටයි මේ දවස්වල සූදානම් වන්නේ.. එය වෙනස්ම විදියේ කතාවක් කියල දැනට කියන්නම්..වැඩි දුර තොරතුරු ඉදිරියේදි කියන්නම්..

පෞද්ගලික දිවියේ තොරතුරු ගැන කතාකළොත්.... ?

විශේෂ දෙයක් නෑ.. සාමාන්‍ය විදියට ගෙවිල යනවා..

සංවාදය - ආරියවංශ කුලතිලක (ලක්බිම)

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News