Citizen.lk
 

බල්ලෝ 37ක්, පූසෝ 11ක් හා මරණයෙන් ගලවාගත් ගවයෙක් අපේ ගෙදර ඉන්නවා - අසරණ වූ සතුන්ට පිහිටක් තරුණ නිළිය - photos

 බල්ලෝ 37ක්, පූසෝ 11ක් හා මරණයෙන් ගලවාගත් ගවයෙක් අපේ ගෙදර ඉන්නවා - අසරණ වූ සතුන්ට පිහිටක් තරුණ නිළිය - photos  | sakunthala maladeniya grade work
Wed 13 June 2018 1:14 pm
12,124 views

ජනප්‍රියත්වය රදවා ගන්න නළු, නිළියන් අමුතු දේවල් සිදු කරන කාලයක කලාවට සම්බන්ධ නිහඬ චරිතයක් කරන උතුම් කටයුත්තක් ගැන දැන ගන්න ලැබුනා. ඇය නමින් සකුන්තලා මාලදෙනියයි අසරණ වුන සතුන්ගේ ජීවිතයට පිළිසරණක් වෙමින් ඔවුන්ව රැකබලා ගන්න ඇය පුංචි අදහසකින් ජීවිත රැසක්ට ආලෝකය ලබා දෙමින් සිදු කරන මේ උතුම් කටයුත්ත ගැන ඇය කියන කතාවයි මේ.......

ලොකු බරක් හිස මත තබාගෙන ඉන්න පුංචි කෙල්ලක් හින්දා මුලින්ම ඔබේ වයසයි උපන් දිනයයි දැන ගන්න කැමතියි
මම ඉපදුනේ 1997-03-7 මට දැන් වයස අවුරුදු 21යි.

කලාවට තියෙන ඔබේ සම්බන්ධය මොන වගේද?
මගේ අම්මගේ අයියා (ඉන්දික ප්‍රසාද්) පස්ගම හොටෙල් කිචන් බෑන්ඩ් එකේ සෙල්ලම් කරනවා. පුංචි කා‍ලේ මම එයත් එක්ක සින්දු කියන්න ගියා. 1 වසරෙදි මාමගේ රණහංස කලා පදනමෙන් කරපු මුද්‍රා නාට්‍යයක රඟපෑවා. ඒත් මාමා කිව්වා රඟපාන්න කැමති නම් ඒ ගැන හදාරලා එන්න කියලා. ඒ නිසා විශ්වකලා පදනම පමුණුගම නැටුම් හා රංගායතනය තුළින් රංගනයට හා උඩරට නර්තනය හැදෑරුවා. සත් කෝර‍ලේ රංග ශිල්ප ශාලිකාවෙන් තමයි වැඩියෙන්ම රංගනය හැදෑරුවේ. මං පළවෙනියා වේදිකා නාට්‍යය චක්‍ර ආටක නාටක ගිරිපුර වැසියෝ ටෙලි නාට්‍යය වලත් අමිල සෙනෙහස කියන ච්ච් චිත්‍රපටයේත් රඟපෑවා. රෝමා රෝසි ජයකොඩි මහත්මිය ඒ අවස්ථාවන් ලබා ගැනීම සඳහා මට බෙහෙවින් උදව් උපකාර කළා. සත්කෝරල රංග ශිල්ප ශාලිකාවේ රූපා පතිරණ මහත්මියගේ තිබුණු ලොකු හීනයක් තමයි අධ්‍යක්ෂවරියක් වීම. ඒ පාඨමාලාව අවසන් කළ පසු එතුමියට ගුරු පූජාවක් ලෙස එතුමිය රචනා කොට අධ්‍යක්ෂණය කළ සුවඳ කැකුළු මල් ළමා ච්ච් චිත්‍රපටය නිෂ්පාදනය කළා. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ මමයි. මේ දිනවල යෞවන සම්මාන උළෙලට මම අධ්‍යක්ෂණය කරන වේදිකා නාට්‍යයෙ පුරුදු පුහුණුවීම් කරනවා.


මේ සියලු කටයුතු මැද සකුන්තලා විශාල කාර්යභාරයක් වෙනුවෙන් ජීවිතේ වැඩි කාලයක් කැප කරපු කෙනෙක්. එහෙම නේද?
මම අසරණ සතුන් වෙනුවෙන් කැපවුණු කෙනෙක්. බල්ලෝ 37ක්, පූසෝ 11ක් හා මරණයෙන් ගලවාගත් ගවයෙක් අපේ ගෙදර ඉන්නවා. මීට අමතරව මරණයෙන් ගලවාගත් තවත් ගවයන් 4 දෙනෙක් වෙනත් ගෙවල් 4කට භාරදීලා ඔවුන් ගැන සොයා බලනවා. බල්ලන් 7 දෙනෙකුත් ඔය විදියට වෙනත් නිවෙස්වල ඉන්නවා. ගෙදර ඉන්න සතුන් වගේම පිටස්තර තැන්වල රඳවා ඇති සතුන් ‍පෝෂණය කරන්නේත් මමයි.

මේ සත්තු කූඩු කරලද හදන්නේ?
නැහැ. මගේ නිවස අක්කර 4ක වත්තක් මැද තියෙන්නේ. මේ හැමෝම නිදහසේ ඉන්නවා. මේ හැමෝටම නම් දාලා තියෙන්නේ. නම කියලා කතා කරපු හැටියේ මගේ ළඟට එනවා. අවශ්‍ය වුණොත් ගන්න කූඩු තුනක් තිබුණත් මේ අය අතර කවදාවත් ගැටුම් ඇති වෙන්නේ නැහැ. වැට පැනලා පාරට ගියත් වටාපිටාවේ අය ආයෙම එයාලව අපේ වත්තට එළවනවා. ඒ නිසා ගැටලුවක් නැහැ.

ඔබේ ගෙදර පසුබිම මොන වගේද? ඔවුන්ගෙන් මොන වගේ සහයක්ද ඔබට ලැබෙන්නේ?
මගේ ගෙදර ඉන්නේ අම්මා (කුමුදුනී ඉනෝකා) තාත්තා (චන්දන කුමාරසිරි) හා කිරි අම්මා විතරයි.
මගේ සීයා ‍පොලීසියේ හිටපු ඕ.අයි.සී. කෙනෙක්. සමාජ සේවයට තදින්ම නැඹුරු කෙනෙක්. ඔහු දැන් ජීවතුන් අතර නැතත් අසරණ සතුන්ට පිහිටවීමේ කටයුත්ත පටන් ගත්තේ ඔහුයි. පුංචි කා‍ලේ ඉඳන්ම අපේ ගෙදර ඒ පසුබිම තිබුණා. බල්ලෝ පූසෝ ඇති කළාට ඒ සුරතල් සත්තුම ‍නෙවෙයි. සමහර සත්තු අපේ ගෙදරට ගෙනෙනකොට රෝගාබාධවලට බඳුන් වෙලා. ඇඟේ ලෝම හැලිලා. මුළු ශරීරයම තුවාල දාලා හිටපු සත්තු. සමහර සතුන්ගේ ඇස් නැහැ. බෙහෙත් කරලා සාත්තු සප්පායම් කරද්දීත් මට පුංචි කා‍ලේ ඉඳලම කිසිම පිළිකුළක් දැනුනේ නැහැ. දැන් මම ඒකට හුරු වෙලා ඉන්නේ. අද මම මේ කටයුත්ත ගොඩාක් ලොකුවට කළාට අම්මයි තාත්තයි කිරි අම්මයි තුන්දෙනාගෙත් සම්පූර්ණ සහයත් මට ලැබෙනවා.
සතුන්ට කෑම බිම පිළියෙල කරන්න, නාවන්න, ඒ අයගේ වැඩ කටයුතු කරන්න අපේ ගෙදර මෙහෙකරුවන් නැහැ. අම්ම තමයි ඒ සියලු කටයුතු කරන්නේ.

එය වෙහෙසකර අත්දැකීමක් ‍නෙවෙයිද?
ඔය කියපු කටයුතුවලට අමතරව හරකුන්ට වල් කපන්නත් සිදුවන අවස්ථා තියෙනවා. මාලදෙනිය ගංගාරාම විහාරය හා කහඳව රජමහා විහාරය සමග අපි සමීපයි. එම විහාරස්ථානවල ශ්‍රමදාන කටයුතුවලදී කය වෙහෙසා කරන වැඩත් මම කරනවා. මට ඒ හැම වැඩක්ම වෙහෙසක් ‍නෙවෙයි.

තේ එකක්වත් හදන්න බැරි ගෑනු ළමයින්ට සකුන්තලා හොඳ පූර්වාදර්ශයක් වගෙයි නේද?
අනේ මගේ මිම්මෙන් හැමෝම මනින්න එපා. පව්... මේ වැඩ වලට උදව් කරන්න මගේ යාළුවොත් එනවා. ඒ අයටයි ගෙදර අයටයි වෙනම උයන්න ඕනෑ. ගෙදර ඇති කරන සත්තුන්ට වගේම පිට ගෙවල්වල ඉන්න සත්තුන්ටත් කෑම ගිහින් දෙන්න ඕනේ. එක වේලකට හාල් කිලෝ අටක් විතර මම උයනවා. වෑංජන තුන හතරකුත් හදනවා. අපේ පවු‍ලේ හැමෝම නිර්මාංශයි. මම ජීවිතේට කරෝල කෑල්ලක්වත් කාලා නැහැ. ඒත් බල්ලන්ටයි පූසන්ටයි මස්, මාළු, බිත්තර සැමන් හදලා දෙනවා. මාළු කූරියෙක් කපන්න අතට ගනිද්දී ඒ මාළු කූරියා වතුරේ පිහිනපු හැටි මට මැවිලා පෙනෙනවා. ඒ හින්දා මාංශ ආහාර උයන්නේ මගේ යාළුවෝ. දවස් පහේ මේ කටයුතුවල යෙදිලා මට දැන් 50 දෙනෙකුට හරි ඕනෑම රසවත් වෑංජන එක්ක තනියම බත් උයලා දෙන්න පුළුවන්.

මේ තරම් කටයුත්තක් කරන්න සකුන්තලා හොඳ සල්ලිකාරියක් වෙන්න ඇති නේද?
හැමෝම අහන ප්‍රශ්නයක් තමයි ඕක. අපි මීරිගම මාලදෙනියේ පදිංචි සාමාන්‍ය පවුලක්. කහඳව ප්‍රාථමික විදුහලින් හා ඩඩ්ලි සේනානායක ආදර්ශ මහ විදුහලෙන් තමයි මම ඉගෙන ගත්තේ. අපේ අම්මා සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක්. තාත්තා කරන්නෙත් සාමාන්‍ය රැකියාවක්. ඉඩකඩම් තිබුණට අපි මහ ලොකු සල්ලිකාරයෝ ‍නෙවෙයි. මහලොකු අනාගත ආයෝජන නැති හින්දා ආදායම වියදම අපට ප්‍රශ්නයක් ‍නෙවෙයි. මගේ බැංකු ගිණුමේ රුපියල් 500ක්වත් නැහැ කිව්වම කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ.

අසරණ සතුන්ට ආදරය කරන කොට ඔබට ලැබෙන දේවල් ඔන්න බලාගන්න... කියලා පෙන්වන්න බැරි බව අපි දන්නවා. ඒත් ඔබට නොලැබුණු දේවල් එහෙමත් ඇති නේද?
ඔව්. ඒ තමයි මගේ ආදරය? හැබැයි දැන් ඒ ගැන කතා කරන්න මම කැමති නැහැ. ඒත් අහපු නිසා කෙටියෙන් කියන්නම්. ඔහු බෑන්ඩ් එකක වාදකයෙක් විදියටයි මට හමුවුණේ. ඒත් මම මේ විදියට සතුන්ට කැපවෙනවාට ඔහු විරුද්ධ වුණා. අන්තිමට මට තීරණයක් ගන්න වුණා ආදරයද? අසරණ සතුන් වෙනුවෙන් කරන මේ පරිත්‍යාගයද වටින්නේ කියලා. අන්තිමට මම තීරණය කළා කුළුඳුල් ආදරය අතෑරලා මගේ ගමන යන්න. හැබැයි ආදරය බිඳි ගියත් අපේ යාළුකම නැති වෙලා නැහැ. ඔහු දැන් ලංකාවේ නැහැ. හැබැයි ඊට පස්සෙත් එක එක අයගෙන් ආදර යෝජනා ආවා. ඒත් මම පිළිගත්තේ නැහැ. මගේ ආදරය විවාහය අනාගතයට බාරයි. හැබැයි සත්තුත් එක්ක තියෙන මේ ගනුදෙනුව නම් හැමදාමත් තියේවි.

සකුන්තලාට අවසන් වශයෙන් යමක් කියන්න තියෙනවාද?
මාලදෙනියේ ගංගාරාම විහාරයේ ධර්මාලංකාර හාමුදුරුවෝ, කහඳව රජමහ විහාරයේ නායක හාමුදුරුවෝ, හරින් පුෂ්පදේව, හරින් කෞෂල්‍ය මහත්වරු, මදු අයෝධ්‍යා බුවනෙක, දිමුතු සමන්ප්‍රිය කියන මගේ යාළුවෝ මට ලබාදෙන සහයට මම සදා ණය ගැතියි කියලා ලියන්න.

එතකොට කතා කරන්න බැරි මේ සත්තු කොහොමද තමන්ගේ ණය ගැති බව සකුන්තලාට ප්‍රකාශ කරන්නේ?
ඒක මට මේ අහිංසක සතුන්ගේ මූණ දිහා බලනකොට හැමදාම පේනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News