Citizen.lk
 

ඔව්. අපට කුළුඳු‍ලේම ලැබුණේ පුතෙක්. පුතාගේ වයස තවම මාසයයි. - කූඹියෝ ජෙහාන්ගේ සැබෑ ජීවිතයට එකතු වුන පුංචි අමුත්තා ගැන කීව කතාව

ඔව්. අපට කුළුඳු‍ලේම ලැබුණේ පුතෙක්. පුතාගේ වයස තවම මාසයයි. - කූඹියෝ ජෙහාන්ගේ සැබෑ ජීවිතයට එකතු වුන පුංචි අමුත්තා ගැන කීව කතාව  | thumudu - kalani family new member
Wed 18 April 2018 7:05 pm
2,045 views

තුමිඳු දොඩන්තැන්න කලා ක්ෂේත්‍රයට පිවිසිලා මේ වන විට වසර 20ක පමණ කාලයක් ගතවී තිබුණත් ඔහු ගැන බොහෝ දෙනා විමසිලිමත් වෙන්නට පටන් ගත්තේ “කූඹියෝ” ටෙලි නාට්‍යය විකාශය වීමත් සමගයි. තුමිඳු කියන්නේ ලංකාවේ ජනප්‍රිය නළුවා කීවොත් නිවැරදියි ඉතින් මේ ගේම් කාර ජෙහාන්ගේ සැබෑ ජීවිතයට අළුත් අමුත්තෙක් එකතු වුනා කියලා ආරංචියි ඒ ගැන සහ තුමිදුගේ රංගන ජීවිතය ගැන කීවේ මේ විදිහටයි...

 පසුගිය දිනවල පුංචි තිරයෙන් වැඩිපුර දැකපු තුමිඳු “වෛෂ්ණාවි” චිත්‍රපටයෙන් නැවතත් සිනමාවට ඇවිත් තිබෙනවා?
ඔව්. ‘වෛෂ්ණාවි’ කියන්නේ 19 වැනි ශත වර්ෂයේ අග භාගය සහ 20 වැනි සියවසේ මුල් හරියේ ලංකාවේ සමාජය නිරූපණය කෙරෙන චිත්‍රපටයක්. මම එහි රඟපාන්නේ ගැමි කලාකරුවෙක්, ඒ කියන්නේ රූකඩ නටවන්නෙක් සහ කැටයම් ශිල්පියෙක් විදිහටයි. ඒක මට ලැබුණු අලුත් විදියේ චරිතයක්. සුමිත්‍රා පීරිස් වැනි විශිෂ්ට අධ්‍යක්ෂවරියකගේ චිත්‍රපටයක රඟපාන්නට ලැබිම මට ඉතා සුවිශේෂී අත්දැකීමක් වුණා.

ඔබ ගැන බොහෝ දෙනා කතා බහ කරන්න පටන් ගත්තේ “කූඹියෝ’ ටෙලි නාට්‍යයෙන් පසුවයි. කූඹියෝ රූගත කරන කා‍ලේ හිතුණාද මේ තරම් ජනප්‍රියත්වයක් ඊට ලැබේවි කියලා?
දැන් හැදෙන විදිහේ ටෙලි නාට්‍යය වලට වඩා වටිනාකමක් “කූඹියෝ” ටෙලි නාට්‍යයට ප්‍රේක්ෂකයාගෙන් ලැබේවි කියලා අපි බලා‍පොරොත්තු වුණා. නමුත් මේ තරම් ජනප්‍රියත්වයක් ඊට ලැබේවි කියලා අපි නම් හිතුවේ නැහැ. ඇත්තටම හිතුවාට වඩා බොහොම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි කරගෙනය. කූඹියෝ අවසන් වුණේ. ඒ ගැන මට බොහොම සතුටුයි.

තුමිඳු සැබෑ ජීවිතයේදීත් ජෙහාන් වගේ ගේම්කාරයෙකුද කියලා හිතන තරමට සමහර ප්‍රේක්ෂකයෝ ඒ චරිතයට ආකර්ෂණය වෙලා නේද?
ඇත්තටම ඔව්. මම මීට කලින් කලාත්මක ගණයේ සිනමා පටවල සහ තරමක් වෙනස් විදිහේ ටෙලි නාට්‍යවල තමයි රඟපාලා තිබුණේ. මේ නිසා බොහෝ උදවිය මාව නළුවෙක් විදිහට රූපයෙන් සහ නමින් වැඩිය හඳුනාගෙන සිටියේ නැහැ. ජෙහාන් ප්‍රනාන්දු කියන චරිතය ප්‍රේක්ෂකයන්ට දැඩි ලෙස සමීප වීම නිසා මගතොටේදී හමුවන සමහරු මේ ඇත්තටම ජෙහාන්මද කියලා හිතලා මා දිහා බලන සහ කතා බහ කරන අවස්ථා තියෙනවා.

පසුගියදා පැවැත්වුණු ටෙලි සිනමා උළෙලකදී වසරේ ජනප්‍රියම නළුවා විදිහට සම්මාන ලබද්දී ඔබ කිව්වා එය මේ පවතින සිස්ටම් එකට විරෝධය පාලා ප්‍රේක්ෂකයෝ ඔබට ලබාදුන් සම්මානයක් කියලා. ඇත්තටම මොකක්ද ඔබ එයින් අදහස් කළේ?
අපි හැමෝම මේ සමාජයේ අඩු පාඩු දකිනවා. ඒ වගේම ඒවා විවේචනය කරනවා. උදාහරණයක් විදිහට කීවොත් උදේට පත්තරයක් කියවන පාඨකයෙක් එහි තිබෙන දේශපාලන කාටුන් එක බලලා සතුටක් ලබන්නේ ඒ කාටුන් එකෙන් දේශපාලකයාට රිදෙන්න ගහලා තියෙනවා කියන හැඟීම ඇතිවයි. එතැනදී ඒ පුද්ගලයා පෙන්වන්නෙත් මේ සිස්ටම් එක සම්බන්ධයෙන් තමාගේ තිබෙන විරෝධය තමයි. ඒ වගේම තමයි සුපර් මාර්කට් එකේ බඩු අරගෙන ‍පොෂ් වෙන්න හදන නෝනලා ගැන, ධනාත්මක චින්තනය විකුණන අය ගැන, ඉංග්‍රීසි ටිකක් කටේ ගාගෙන මහත්වරු වෙන්න හදන අය ගැන කූඹියෝ ටෙලි නාට්‍යයෙන් පෙන්වද්දී ප්‍රේක්ෂකයෝ ඒවාට හිනා වුණේ ඒ දේවල් සම්බන්ධයෙන් තමන් තුළ තිබෙන විරෝධය නිසයි.
ප්‍රේක්ෂකයන්ම තමයි මාව ජනප්‍රිය නළුවා කියන සම්මානය දක්වා ඔසවා තැබුවේ. ඒ නිසා තමයි මම එදා ඒ සම්මානය මේ පවතින සිස්ටම් එකට විරෝධය දැක්වීමක් විදිහට හඳුන්වා දුන්නේ.

කූඹියෝට සමගාමීව විකාශය වූ “සහෝදරයා” ටෙලි නාට්‍යයත් පසුගියදා නිමාවට පත් වුණා. බලා‍පොරොත්තු වූ තරමේ ප්‍රතිචාර ඊට ලැබුණා කියලා කියන්න පුළුවන්ද?
“කූඹියෝ” තරමටම සහෝදරයා” ප්‍රේක්ෂකයන් අතරට නොගිය බව ඇත්තක්. නමුත් සමාජය පිළිබඳ විචාරාත්මක අදහස් පළ කරන ප්‍රේක්ෂක පිරිස් එය නැරඹුවා. මම හිතනවා ඒ ප්‍රේක්ෂක පිරිස ප්‍රමාණවත් කියලා.

සහෝදරයා” ටෙලි නාට්‍යයෙන් ඔබේ බිරිඳ වන කළණිගේ රංගන හැකියාවත් ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබුණා?
ඔව්. ඇයට මීට කලින් රඟපාලා ලොකු පළපුරුද්දක් තිබුණේ නැහැ. නමුත් ඇයට ඉතා හොඳ දක්ෂතාවයක් තිබෙනවා. ඕනෑම දර්ශනයකට වුවමනා කරන මූඩ් එක තුළ හිඳිමින් බොහොම තාත්වික විදිහට රංගනයේ යෙදෙන්න. ඇගේ එම හැකියාව ගැන මට ඉතා සතුටුයි.

තුමිඳු සහ කළණි මේ දිනවල දරු සුරතල් බලනවා නේද?
ඔව්. අපට කුළුඳු‍ලේම ලැබුණේ පුතෙක්. පුතාගේ වයස තවම මාසයයි.

 

Latest News

( 5 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News