Citizen.lk
 

අවශ්‍ය ඕනෑම අවස්‌ථාවකදී මට, ඇමරිකන් පුරවැසිභාවයෙන් ඉල්ලා අයින් වෙන්න පුළුවන් - 2020 ජනපති සටන ගැන ගෝඨාභය රාජපක්‌ෂ හෙළි කරයි

අවශ්‍ය ඕනෑම අවස්‌ථාවකදී මට, ඇමරිකන් පුරවැසිභාවයෙන් ඉල්ලා අයින් වෙන්න පුළුවන් - 2020 ජනපති සටන ගැන ගෝඨාභය රාජපක්‌ෂ හෙළි කරයි | gotabaya rajapaksha say about 2020 Presidential election
Sun 18 February 2018 11:03 am
2,238 views

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයයේ ජයග්‍රහන කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ  නායකත්වයෙන් තරඟ කළ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමත් වුනා, මෙම ජයග්‍රහනය  ශ්‍රි ලංකාවේ දේශපාලනය වෙනස්කම් රාශියකට හේතු වුනා, පුංචි චන්දය ජයග්‍රහනය කළ පොදුජන පෙරමුණ 2020 ජනාධිපතිවරණය සඳහා සුදානම් බව දැන ගන්නට ලැබෙනවා. ඒ සඳහා තරඟ වැදීමට  අපේක්ෂා කරන්නේ ගෝඪාභය රාජපක්ෂ බවයි බොහෝ දෙනාගේ මතය වන්නේ. නමුත්  ද්විත්ව පුරවැසි භාවය නිසා ඔහුට තරඟ කිරීමට නොහැකි බව ඇතැම් දේශපාලකයන් සඳහන් කරනා 2020 ජනපති සටන ගැන ගෝඪාභය රාජපක්ෂ මහතා පුවත් පතකට අදහස් දැක් වුයේ මෙලෙසයි.........
 
මැතිවරණ කාලය පුරා ඔබ සිටියේ විදේශ ගත වෙලයි. අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කර තිබුණේ, ඔබ රටින් පැන ගොස්‌ ඇති බවයි. මෙවර ඔබ විදේශ ගත වුණේ කුමක්‌ හෝ බියක්‌ නිසා ද...?
 
 මම එහෙම පැනලා ගියේ නැහැ... ජනාධිපතිවරණයෙන් පස්‌සේ, නඩු දාද්දී මම පැනලා ගියේ නැහැ. ඒ අය දූෂණ හොයන්න කියලා පිහිටවපු සියලු තැන් වලට මම ගියා... ඒ සියල්ලටම මම මුහුණ දුන්නා. ඒ නිසා කිසිදේකට බය වෙන්න දෙයක්‌ මට තිබුණේ නැහැ. ඡන්දයට ඉස්‌සෙල්ලා මම ඇමරිකාවට යන්න සුදානම් වෙලයි තිබුණේ. මම එහේ ඉද්දී තමයි, මැතිවරණයට දින නියම කළෙත්. මගේ පුතා, නැන්දම්ම, සහෝදරයෝ ඉන්නේ එහේ... ඒ නිසා ඒ අය බලන්න මම කලින් යොදාගෙන තිබුණා. ඒ නිසයි මම ඇමරිකාවට ගියේ. අනික මම කිසිම අවස්‌ථාවක දේශපාලනය කළේ නැහැනේ... මම කවදාවත් ඡන්ද කළේ නැහැනේ...
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්‌වී බැසිල් රාජපක්‌ෂ මහතා, ඔබව හිරේ දැමීම සඳහා උත්සාහ කිරීම හේතුවෙන්, ආරක්‌ෂාව සඳහා ඔබ රටින් පිටත ගොස්‌ ඇති බව බස්‌නාහිර පළාත් මහා ඇමැති ඉසුර දේවප්‍රිය සඳහන් කළා... එහෙම කුමන්ත්‍රණයක්‌ තිබ්බාද...?
 
 -බැසිල් රාජපක්‌ෂ මහතාට එහෙම කිසිම අවශ්‍යතාවයක්‌ ඇත්තේ නැහැ. "සහෝදර එකමුතුව" කියලා මේ අයම එක වෙලාවකට කියනවා, තව වෙලාවකට සහෝදර ගැටුම් කියනවා. ඔය වගේ බොරු කියලා තමා, මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව පෙරලුවේ... ඒ අය ආණ්‌ඩුව කරගෙන යන්න හදන්නෙත් එහෙම තමයි. අපේ පවුල හොඳ එකමුතුකමක්‌ තියෙන සමඟියක්‌ තියෙන පවුලක්‌. මම ඒක බය නැතුවම, ඒ වගේම ආඩම්බරයෙන් කියනවා. අපි එකිනෙකා ගහගන්න සහෝදර පිරිසක්‌ නෙමෙයි. පවුලක්‌ හැටියට සමාදානයෙන් ජීවත්වීම, එකට වැඩ කිරීම අපේ රටේ සංස්‌කෘතියෙන් අගය කරන දෙයක්‌. අපි හැමදාම එකට හිටිය සහෝදර පිරිසක්‌. අපි සියලු දෙනා රට වෙනුවෙන් එකතුවෙලා වැඩ කළා. ඒක ආදර්ශවත් දෙයක්‌. 
 
බරපතළ අපරාධ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අනුව, ඔබ වරදකරුවෙක්‌ කරලත් නැහැ. නොකර තිබුණෙත් නැහැ. මෙහිදී ඇතිවෙලා තිබෙන තත්ත්වය කුමක්‌ද...? 
 
 එම වාර්තාවේ එවැනි තත්ත්වයක්‌ තිබෙනවා. මේ කොමිෂන් සභාවට අවංකව තීන්දුවක්‌ දෙන්න පුළුවන්කමක්‌ නැති බවයි එයින් පෙනෙන්නේ... මෙහිදී අධිකරණයෙන් අපි සාධාරණයක්‌ බලාපොරොත්තු වෙනවා. ජනතාවට තිබෙන එකම සාධාරණය තිබෙන්නේ අධිකරණය තුළ. අධිකරණය කිසිම බලපෑමකට යටත් නොවී, සිය තීන්දු තීරණ ගනීවි කියලා අපි හිතනවා. ඒ එක්‌කම මම කියන්න ඕනේ, අපේ රටේ විතරක්‌ නෙමෙයි මේ ලෝකයේ බොහෝ රටවල ජාතික නායකයන් සිටින අවස්‌ථාවල බටහිර බලවේගයන් ක්‍රියා කරපු ආකාරය පිළිබඳව. බටහිර බලවේගයන්ට ගැතිවුණු දේශීය බලවේග සමඟ එකතුවෙලා, එම රටේ ජාතික නායකයන් එලවන්න භාවිතා කරන ලද ක්‍රමවේද දෙකක්‌ තිබෙනවා. එම ජාතික නායකත්වය දුෂිතයි කියන එක සහ ඒකාධිපති කියන එක තමා එම ක්‍රම දෙක. මේ ක්‍රම දෙක පාවිච්චි කරලා ජනතාව මුලා කරනවා. ඒ මුලාව තුළින් බලයට එන රජයන්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‌ෂා කිරීමට තිබෙන ආයතන මාර්ගයෙන්ම, අර ජාතික නායකයන්ව තළා පෙළන්නට, දේශපාලන පළිගැනීම් සිදුකිරීමට ක්‍රියා කරනවා. පොලීසිය, අධිකරණය ආදී ආයතන ඒ සඳහා පාවිච්චි කරනවා. එමගින් ජනතාවට පෙන්වන්න හදන්නේ, අපි සාධාරණ ලෙස ක්‍රියා කරන බවයි. මේවා ලෝකයේ බොහෝ තැන් වල ක්‍රියාත්මක කරන ලද ක්‍රමවේදයන්. මේක ජනතාව හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ ආණ්‌ඩුව කරගෙන යන්නෙත් ඒකමයි. ඒ මිසක්‌ මේ පිළිබඳව කොමිසම තේරුම් අරගෙන ක්‍රියා කරපු බවක්‌ නම් මට පේන්නේ නැහැ. රක්‌නා ලංකා ආයතනය පටන් ගත්තේ රුපියල් මිලියන හතරකින්. එය බිලියන පහක්‌ වටින ආයතනයක්‌ බවට පත් කළා. විශේෂයෙන්ම අඩු වයසින් විශ්‍රාම යන රණවිරුවන් විශාල ප්‍රමාණයකට රැකී රක්‌ෂා ලබා දුන්නා. ඒ කාරණයවත් මෙතැනදී පෙන්වලා දුන්නේ නැහැනේ. ඒ විශාල ලාභය ලැබුවේ එම ආයතනයේ හිටපු කළමනාකාරිත්වයේ සහ සේවකයන්ගේ කැපවීම මත. ආණ්‌ඩු මාරුවත් සමග සිද්ධ වුණේ එම පිරිස්‌වලට තමන් ලබා දුන්න ජයග්‍රහණය වෙනුවෙන් දඬුවම් විඳින්නයි. මේ පූර්වාදර්ශය අනුව, කිසිම නිලධාරියෙක්‌ මීට පස්‌සේ වැඩ කරයිද...? 
 
රාජිත සේනාරත්න, චම්පික රණවක කියන ඇමැතිවරු දෙදෙනා නිතරම ඔබට එරෙහිව චෝදනා එල්ල කරන බව පෙනෙනවා. ඔවුන් නිරන්තරයෙන් පවසන්නේ ඔබ අත්අඩංගුවට ගත යුතු බවයි...?
 
ඒවා ඒගොල්ලන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් කරන අභූත චෝදනා. මෙවැනි චෝදනා කරන එක මිසක්‌ වෙන කිසිම වැඩක්‌ මේ ඇමැතිවරු කළේ නැහැනේ. මම ඔය කාටවත් චෝදනා කර කර හිටියේ නැහැ, මට ලැබුණු වගකීම ඉෂ්ට කරා මිසක්‌. ගිය ආණ්‌ඩුව කාලේ මම රාජ්‍ය නිලධාරියෙක්‌. මිට පෙර මම හමුදා නිලධාරියෙක්‌ විදිහට අවුරුදු විසි එකක්‌ සේවය කරලා තිබෙනවා. මගේ හමුදා කාලයේදී මම වැඩියෙන්ම වැඩ කරලා තිබෙන්නේ එජාප ආණ්‌ඩු යටතේ. ත්‍රස්‌තවාදී කාලයේදී මම කිසිම පැකිලීමක්‌ නැතුව ක්‍රියාන්විත ප්‍රදේශවලමයි සේවය කළේ. ජෙනරල් කොබ්බැකඩුව, ජෙනරල් විමලරත්න යටතේ මම වැඩ කළා. වඩමරච්චි මෙහෙයුමේ බලඇණි හතරෙන් එකක අණදෙන නිලධාරියා ලෙස සේවය කළේ මම. යාපනය කොටුව මුදා ගැනීමේ මෙහෙයුමට බලඇණි දෙකක්‌ තමයි, ඉදිරියෙන් මුහුණ දුන්නේ. එහි එක බලඇණියකට අණදුන්නේ මම. මම රාජ්‍ය සේවකයකු වශයෙන් මගෙන් විය යුතු සේවය හැම ආණ්‌ඩුවකටම ඉෂ්ට කළා. ඒ මිසක්‌ මම දේශපාලනයක්‌ කළේ නැහැ.
 
එසේ වුවත් සමහරු චෝදනා කරන්නේ, යුද්ධය අතර මගදී ඔබ බයේ පැනලා ගියා කියලයි..?
 
 පිළිතුර - හමුදාවේ අමාරුම කාලය තමයි ලුතිනන් කර්නල් දක්‌වා කාලය. ඊට පස්‌සේ තිබෙන්නේ, බ්‍රිගේඩියර්, මේජර් ජෙනරාල් කාලය. වැඩියෙන්ම තුවාල ලබපු, මිය ගිය නිලධාරීන් අයත් වන්නේ ලුතිනන් කර්නල් දක්‌වා කාලයට. ඊට උඩ නිලධාරීන්ට එවැනි අවස්‌ථා අත්වෙච්ච් වාර ගණන අතේ ඇඟිලි ගණනටත් අඩුයි. බ්‍රිගේඩියර් සහ මේජර් ජෙනරාල් තනතුරු කියන්නේ හමුදාවට තිබෙන වරප්‍රසාද ලැබෙන කාලයක්‌. මම අමාරු කාලයේ හමුදාවේ හිටියා. මම විශ්‍රාම ගියාට පසු, මාත් එක්‌ක එකට හමුදාවට බැඳුණු අය කර්නල්, සහ බ්‍රිගේඩියර් තනතුරු සඳහා පත් වුණා. එහෙම උසස්‌වීම් ලැබෙන බව මමත් දන්නවා. ඒ අවස්‌ථාව වන විට මට තේරුණා මේ යුද්ධය වන විදිහ. මම විශ්වාස කරපු නායකයන් නැති වෙලා ගියා. ඒ තුළ හමුදාවෙන් යන්න ඕනේ කියලා මම කල්පනා කළා. හමුදා සේවයේ අමාරුම කාලයේ මම සේවය කළා. වරප්‍රසාද ලැබෙන කාලයේ මම විශ්‍රාම ගියා. වරප්‍රසාද ලැබෙන කාලවල බයේ පැනලා යන්න ඕනේ නැහැ... ඒ කාලවල හිටපු සෑම ජනාධිපතිවරයකුගෙන්ම මට හමුදා ඇගයීම් සම්මාන ලැබී තිබෙනවා. ජනාධිපති ජයවර්ධන, ප්‍රේමදාස, විඡේතුංග කියන සෑම නායකයකුගෙන්ම මට ඒවා ලැබිලා තියෙනවා. ඒවා ඒගොල්ලෝ දෙන ඒවා නෙමෙයි. මගේ හමුදා නායකයන් අනුමත කරලා යවන දේවල්. මම මේකෙන් කියන්න හදන්නේ, මොන ආණ්‌ඩුව තිබුණත් මම මගේ සේවය නිවැරදිව රට වෙනුවෙන් ඉටුකළා කියන එකයි. 
 
 මේ වන විට සමහරු ඔබව හඳුන්වන්නේ විස්‌සයි විස්‌සේ ජනාධිපතිවරයා ලෙසයි. නිලධාරියකුගේ භූමිකාව හමාර කරමින් දේශපාලනය සදහා ඔබට පිවිසෙන ලෙස රටෙන් ආරාධනා තිබෙනවා...
 
 පිළිතුර - ඒකට හේතුව, රටේ සාමාන්‍ය ජනතාව දේශපාලකයන් කෙරෙහි තිබෙන බලාපොරොත්තුව, විශ්වාසය බිද වැටිලා තියෙනවා. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමා කෙරෙහි ඒ අයට තිබෙන්නේ, දේශපාලකයකු කෙරෙහි තිබෙන ආකල්පය නොවෙයි. රටට වැඩ කරපු නායකයකු සඳහා තියෙන ගෞරවය. පවතින තත්ත්වය තුළ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න අවස්‌ථාවක්‌ නැහැ. එතකොට ඒ අය බලනවා, ඒ සඳහා වෙන කවුද සුදසු කියලා. ඒ අනුව ඒ අය එහෙම කියන්නේ... මේ රට හදන්න නම්, ඒ කාර්යයට මෙවැනි කෙනෙක්‌ අවශ්‍යයි කියලා ජනතාව හිතනවා. 
 
 ඔබ ඒ සඳහා සූදානම් ද...? 
 
 පිළිතුර - ඒක තනියෙන් ගතයුතු තීරණයක්‌ නෙමෙයි. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාගේ ආශිර්වාදය නැතුව කිසිම දෙයක්‌ මම කරන්නෙත් නැහැ. කරන්න පුළුවන්කමකුත් නැහැ. ඊළඟට බැසිල් රාජපක්‌ෂ... මේ දේශපාලනික සැලසුම සහ යාන්ත්‍රණය පිළිබඳව ඔහුට තිබෙන දැනුම, අවබෝධය සහ අත්දැකීම් කියන එක වැදගත්. දේශපාලනය සඳහා ඔහුට විශාල හැකියාවක්‌ තිබෙනවා. ප්‍රාදේශීය සභා ආදියේ සිට සම්බන්ධකම් ජාලයක්‌ ඔහුට තිබෙනවා. ඒ ශක්‌තිය සහ දැනුම තිබෙන්නේ ඔහු ළඟ. ඔහු මේ සඳහා කැමතිද...? ආදී දේ සමගයි මගේ තීරණය ගත හැකිව තිබෙන්නේ...
 

ඔබ ඇමරිකන් පුරවැසියෙක්‌ වීම එවැනි තනතුරක්‌ සඳහා නෛතික බාධාවක්‌ නේද...?


 පිළිතුර - මම ශ්‍රී ලාංකික පුරවැසියෙක්‌... නමුත් ඇමරිකාවට ගියහම මට එහේ පුරවැසිභාවයත් ලැබුණා. දැන් මම ද්විත්ව පුරවැසියෙක්‌. අපේ රටේ ව්‍යවස්‌ථා සංශෝධන හදන්නේ රාජපක්‍ෂලා ඉලක්‌ක කරගෙන. එතැනදී ද්විත්ව පුරවැසිභාවය තිබෙන පුද්ගලයන්ට ඡන්දය ඉල්ලන්න බැහැ කියලා, වගන්තියක්‌ ඇතුල් කළා. ඒක නම් ප්‍රශ්නයක්‌ නෙමෙයි... අවශ්‍ය ඕනෑම අවස්‌ථාවකදී මට, ඇමරිකන් පුරවැසිභාවයෙන් ඉල්ලා අයින් වෙන්න පුළුවන්... මේ රජය බලයට ආපු මුල් දවසේ ඉඳන් කළේ, රාජපක්‍ෂලා සහ පසුගිය ආණ්‌ඩුවේ වැඩක්‌ කරපු පිරිස පස්‌සේ එළව එළවා පළිගැනීම මිසක්‌ වෙන දෙයක්‌ නෙමෙයි. ව්‍යවස්‌ථාව පවා සංශෝධනය කළේ රටේ අවශ්‍යතාවයට නෙමෙයි, පළිගන්නයි. මේ අවුරුදු තුනටම වෙන මොනවක්‌වත් කළේ නැහැනේ. තවම කතා කරන්නේ රාජපක්‍ෂලා හිරේ දාන එක විතරයි. ඔය කතා කරන රාජිතලා, චම්පිකලා, ෙෆාන්සේකලා, චන්ද්‍රිකාලා මොනවද කරලා තියෙන්නේ... චන්ද්‍රිකාගේ කාලයේ ආයුධ නැව් පිටින් නැති වුණා. වැඩක්‌ නැතුව ඉරානයෙන් පවා ආයුධ ගෙනාවා. 
 
 පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්‌ටුව ලබපු ජයග්‍රහණය පිළිබඳව ඔබේ ඇගයීම කුමක්‌ද...?


 පළමුවැනි දේ තමයි මේ සඳහා මූලික වුණේ මහින්ද රාජපක්‌ෂ කියන චරිතය. එය ඔහුගේ නායකත්වයේ ජයග්‍රහණයක්‌... දෙවැනි එක තමයි, මේ ආණ්‌ඩුව බලයට එන්න කියපු බොරු පිළිබඳව ජනතාවට අවබෝධයක්‌ ලැබුණා. මහින්ද ජනාධිපතිතුමාගේ කාලය තුළ රටට කරපු සේවයත් මේ අයගේ කාලයේ කිසිදු දෙයක්‌ නොකිරීමත් ජනතාව සංසන්දනය කළා. කිසිදු සංවර්ධනයක්‌ නොකළා විතරක්‌ නොවෙයි, අපේ රටේ ආරක්‌ෂාව, රණවිරුවන්ගේ ආරක්‌ෂාව, ඒකීයභාවය, ආර්ථිකය, සංවර්ධනය කියන හැම එකම කඩා වැටුණා. ඒ ගැන ජනතාව කල්පනා කරලා තීන්දුවක්‌ දුන්නා. 
 
මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් තවමත් ඔබට චෝදනා එල්ල වෙනවා. ඒ සඳහා මැදිහත්කාර ප්‍රයත්නයක යෙදුණා යෑයි කියමින් උදයංග වීරතුංග අල්ලා ගැනීම සඳහා ආණ්‌ඩුව උත්සාහ කරමින් සිටිනවා...

මිග් යානා ගැන චෝදනාවත් කිසිදු විටක ඔප්පු කර නැති කතාවක්‌ විතරයි. මගේ අදහස නම් උදයංග වීරතුංග සිය කැමැත්තෙන් ලංකාවට ඇවිල්ලා, මේ ගැන ප්‍රකාශයක්‌ කරන්නට ඕනේ. මම එක පුද්ගලයෙක්‌ යවලා, ඊට පස්‌සේ තව නිලධාරීන් දෙන්නෙක්‌ යවලා තමයි කේ.පී. ගෙනාවේ. ඒ ත්‍රස්‌තවාදී නායකයෙක්‌... කේ.පී.ව මෙහාට ගේනකන් ඒ ගැන කවුරුවත් දන්නෙත් නැහැ. ජාත්‍යන්තරය එක්‌ක අපි වැඩ කළේ එහෙමයි. 
 

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News