Citizen.lk
 

කුල ප්‍රශ්නයක් නිසා සැමියා අහිමි වූ අයුක්‌තියට එරෙහිව පියා පෝරකයට යැවූ කෞෂල්‍යා ගේ සංවේදී කතාව - Photos

කුල ප්‍රශ්නයක් නිසා සැමියා අහිමි වූ  අයුක්‌තියට එරෙහිව පියා පෝරකයට යැවූ  කෞෂල්‍යා ගේ සංවේදී කතාව - Photos  | Wife Of Tamil Nadu's Murdered Dalit Man Welcomes Father's Death Sentence
Sun 18 February 2018 8:01 am
5,662 views

22 හැවිරිදි ශංකර් නම් තරුණ සැමියා දරුණු කැපුම් තුවාල 34 ක්‌ සහිතව රෝහලට ගෙන යන අතරතුරදී මියගිය අතර 19 හැවිරිදි ඔහුගේ බිරිඳ කැපුම් 32 ක්‌ හා අස්‌ථි බිඳීම් ගණනාවක්‌ සහිතව මාසයකට ආසන්න කාලයක්‌ රෝහල්ගතව සිට ජීවත් වන්නට වාසනාව ලැබුවාය. කෞෂල්‍යා නම් වූ ඇය පැවසුවේ තමා එසේ නොමැරී සිටින්නට වාසනාව ලැබුවේ මේ දරුණු අපරාධය කළ අමනුෂ්‍යයන්ට දඬුවම් ලබා දෙන්නට හා කුලවාදයට එරෙහිව සටන් වදින්නට බවය.

ඇගේ සාක්‌ෂි අනුව මේ අපරාධයට වගකිවයුත්තන් ලෙස ඇගේ පියා වූ චින්නසාමි හා මව වූ අන්නලක්‍ෂ්මි ඇතුළු නව දෙනකු අත්අඩංගුවට ගනු ලැබීය. තමිල්නාඩු තිරුපූර් අධිකරණයේ විභාගයට ගත් මෙම නඩුවට විත්තිකරුවන්ට විරුද්ධව සාක්‌ෂිකරුවන් 120 දෙනෙක්‌ සාක්‌ෂි දුන්හ. නඩු වාර 58 කදී ම කෞෂල්‍යා තම දෙමාපියන්ට ඇප ලබා දීමට දැඩි සේ විරුද්ධ වූවාය. "මගේ අම්මා, අප දෙදෙනා මරා දමන බවට පුන පුනා ප්‍රකාශ කළා. නීච කුලයක එකකු කසාද බැඳලා ඉන්නවාට වඩා මැරෙන එක හොඳයි කියලා ඇය පැවසුවා". යි කෞෂල්‍යා අලමේලු නටරාජ් ප්‍රධාන දිසා විනිසුරුවරයා ඉදිරියේ කියා සිටියාය.

අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත් වූ අතර කෞෂල්‍යාගේ පියා වූ චින්නසාමි ඇතුළු සය දෙනකු පෝරකයට නියම විය. එහෙත් ඉන් සෑහීමකට පත් නොවූ කෞෂල්‍යා සිය මව ඇතුළු දෙදෙනෙක්‌ චෝදනාවලින් නිදහස්‌ වීමට එරෙහිව අභියාචනාධිකරණය වෙත පැමිණිලි කිරීමට සූදානම් වෙයි. ඇය කියන්නේ සිය මවත් මෙම අපරාධයට වගකිව යුතු බවයි. ඇය ඇතුළු අනෙක්‌ දෙදෙනාටත් මරණ දඬුවම හිමි වියයුතු බවයි. "මම තීන්දුව එනතුරු මාස 21 ක්‌ බලා සිටියා. ඉතිරි තිදෙනාටත් පෝරකය හිමි විය යුතුයි. ඒ සඳහා මම මහාධිකරණයේ පිහිට පතනවා. මගේ දෙමවුපියන් මේ තීන්දුවට එරෙහිව ඇපිල් කළහොත් මම ඊට විරුද්ධවත් නීතියෙන් කටයුතු කරනවා. මේ නඩුව ඉන්දියාවේ කුල පීඩනයට එරෙහි උදාහරණයක්‌ බවට පත් වෙයි". කෞෂල්‍යා පවසන්නීය.


"අපව කපා කොටා දමනු මුළු ලෝකයම CCTV ඔස්‌සේ බලා සිටියා. ශංකර් මියගියා. මගේ දරුණු තුවාලවලට ප්‍රතිකාර ලැබීමෙන් පසු මම ඇවිදින මළමිනියක්‌ සේ සිටිමි. මා සිතන්නේ මගේ දෙමවුපියන් ආදරය කර ඇත්තේ මට නොව මගේ කුලයට බවයි. තමන්ගේ එකම දුව සහ ඇගේ ස්‌වාමියා ඝාතනය කිරීමට මිනීමරුවන් කුලියට ගත හැක්‌කේ මොන දෙමවුපියන්ටද? ඔවුන් දෙමවුපියන්ද? ශංකර් ඔවුන්ගේ කුල පරම්පරාවේ ප්‍රථම ඉංජිනේරුවාය. අපේ කුල පරම්පරාව ඔහුව ඔවුන්ගෙන් පැහැරගෙන තිබේ. මට යුක්‌තිය ලැබෙනු ඇත. එහෙත් කුලය කවදා අවසන් වේද"? ඇය අසන්නීය.

ශංකර් මරා දැමූ පසු කෞෂල්‍යාගේ ලෝකය සහමුලින්ම බිඳවැටුණේය. නමුත් ඇය ක්‍රමයෙන් ශක්‌තිමත් වූ අතර කුලය නිසා සිදුවන අපරාධවලට එරෙහිව සංවිධානාත්මකව නැඟී සිටින්නීය. ඇය ගමින් ගමට ගොස්‌ කුල භේදයට එරෙහිව හඬ නඟන්නීය. කුලය නිසා පීඩා විඳින විශාල පිරිසක්‌ ඇය වටා ඒකරාශී වෙමින් සිsටිති. මේ නිසා ඇයට මරණ තර්ජන වලින් ද හිඟයක්‌ නැත. එබැවින් ඇයට පොලිස්‌ ආරක්‌ෂාව ද ලබාදී තිබේ. ඇයට සිදු වූ අසාධාරණයට තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් ලැබුණු වන්දි මුදලෙන් ඇය ශංකර්ගේ පවුලේ අයට නිවසක්‌ තනා දී ශංකර්ගේ සිහිනය සැබෑ කිරීමට සමත් වී තිබේ. ගමේ දිළිඳු දරුවන්ට අමතර පන්ති පවත්වන මධ්‍යස්‌ථානයක්‌ ද ඇය විසින් ආරම්භ කොට තිබේ. දැන් ඇගේ ජීවිතයේ එකම අරමුණ කුල බේදය පොළොවෙන් තුරන් කිරීම බව ඇය පවසන්නීය.

Latest News

You may also like

Latest Videos

( 10 views)

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News