Citizen.lk
 

වැලන්ටයින් කියන්නේ කව්ද කියලවත් ඒ දිනයේ තියන වැදගත්කමවත් දන් නැති රැල්ලට ගහගෙන යන වැල්ල වගේ ඔහේ සමරන නුතන වැලන්ටයින්!! අශෝභන හා අශීලාචාර හැඟීම් වලින් තොරව වැලන්ටයින් සමරන්න මේක කියවන්න

වැලන්ටයින් කියන්නේ කව්ද කියලවත් ඒ දිනයේ තියන වැදගත්කමවත් දන් නැති රැල්ලට ගහගෙන යන වැල්ල වගේ ඔහේ සමරන නුතන වැලන්ටයින්!! අශෝභන හා අශීලාචාර හැඟීම් වලින් තොරව වැලන්ටයින් සමරන්න මේක කියවන්න | Valentine Day
Wed 14 February 2018 12:48 pm
6,087 views

 


නුතනයේ ඔහේ වගේ වගක් නැතුව වැලන්ටයින් කියන පමාවෙන් විවිධාකර වූ සැමරුම් වලින් වානිජ වටිනාකමක් එක්කරමින් උතුම් දිනයක් කෙලෙසන ආකාරය හරිම සෝචනීයය.

කතෝලික සභා කැලැන්ඩරයේ ප්‍රාණ පරිත්‍යාගී සාන්තුවරයන් දෙනෙක් ගෞරවාදරයෙන් සිහිපත් කරන දිනයක් බව දන්නෝ ස්වල්ප දෙනෙකි. ඉන් පළමුවැන්නා ක්‍රිස්තු වර්ෂ 269 දී පමණ ‍දෙවන ක්ලෝඩියස් රෝමානු අධිරාජ්‍යයාගේ නියමයෙන් ප්‍රාණ පරිත්‍යාගී වූ රෝමානු පූජක වැලන්ටයින්තුමා ය. දෙවැන්නා එම සියවසේ දීම පණ පිදූ ටර්නි හි රදගුරුතුමෙක් වූ වැලන්ටයින්තුමා ය.


සාන්ත වැලන්ටයින් පූජකතුමාගේ ජීවන තොරතුරු

සාන්ත වැලන්ටයින් රෝමානු පූජකතුමා දෙවන ක්ලෝඩියස් රෝමානු අධිරාජ්‍යයාගේ පාලන කාලයේ ජීවත් වූ රෝමයේ කතෝලික දෙව්මැදුරක ජීවත් වූ අයෙකි. ඉතා දැහැමි ශුද්ධවන්ත දිවියක් ගත කළ නිතරම දේව ප්‍රේමය ගැන කතා කළ මෙතුමා ක්‍රිස්තුස් වහන්සේගේ දිවි පිදීමට හේතුව අමිල නිර්මල ප්‍රේමය බව කිතුනු සැදැහැවතුන්ට ඉගැන්වූයේ ය. එහෙත් මෙකල රෝම අධිරාජ්‍ය පුරා මිථ්‍යා දෘෂ්ඨික දේව වන්දනාවන් පැතිර ගොස් තිබූ නිසා ක්‍රිස්තියානි ධර්මය ඇදහීම තහනම් කොට තිබුණි. ධර්මප්‍රචාරය නතර කිරීමට ද කිතු දහම අත්හැර දමා මිථ්‍යා දෘෂ්ථික දේව වන්දනාවන්ට යොමු වීමට ද බලපෑම් එල්ල විය.

කෲර පාලකයෙකු වූ දෙවන ක්ලෝඩියස් රෝමානු අධිරාජ්‍යයා අසල්වාසී රටවල් දිනා ගැනීමේ හා වරින් වර පැමිණි සතුරු කැරලි මර්දනය කිරීමේ නියැලී සිටියේ ය. එනිසා ඔහුට විශාල යුධ හමුදාවක් ඇති කර ගැනීමට අවශ්‍ය විය. එහෙත් සාධාරණයක් නොදුටු යුධ වැදීම් හමුවේ තම ජීවිත පිදීමට අකමැති වූ රෝමානු තරුණ පිරිස් හමුදාවට එකතු වීමෙන් වැළකී සිටියහ.

රෝමානු උත්සවයක දී තරුණ යුවල් හා විවාහකයන් එකිනෙකා ආදරයෙන් හා සතුටින් කාලය ගෙවන අයුරු දුටු දෙවන ක්ලෝඩියස්, තම යුධ හමුදාවට බැඳීමට ඔවුන් ඉදිරිපත් නොවීමට හේතුව ප්‍රේම සම්බන්ධතා හා තම පවුල් අත්හැර ඒමට තිබෙන අකමැත්ත බව තේරුම් ගත්තේ ය.

එනිසා එවකට රෝමයේ සිටි සියලු තරුණයන් යුධ හමුදාවට බැඳිය යුතු බවත්, විවාහය ඔවුනට තහනම් බවත් ආඥාවකින් නියම කළේ ය. ඊට විරුද්ධව නැගී සිටීමට කිසිවෙකු නොවී ය. මෙම ආඥාවේ දුෂ්ඨකම අවබෝධ කර ගත් සාන්ත වැලන්ටයින්තුමා යුධ හුමදාවට බැඳී සිටි තරුණ සෙබළුන්ව හා වෙනත් පුද්ගලයන්ව ඉතා රහසිගතව විවාහ කරවීය.

මේ සඳහා දෙව්මැදුරු භාවිත කිරීමට, නෑ හිතවතුන්ට සහභාගි වීමට හෝ විවාහ මංගල උත්සව පැවැත්වීමට අවස්ථාවක් නොවීය. පොළොව යට තනා තිබූ කිතුනු ජනවන්දනා රැස්වීම් පැවැත්වූ බිම් ගෙවල් හා ප්‍රාණ පරිත්‍යාගීවරුන්ගේ මෘත ශරීර මිහිදන් කර තිබූ උමං සොහොන් ගෙවල් කිතුනු විවාහ මංගල චාරිත්‍ර පැවැත්වීමට යොදා ගැණිනි. මෙම කරුණ සැමදා රහසක්ව තබා ගැනීමට නොහැකි විය.

යුධ සේවයේ යෙදී සිටි තරුණ සෙබළුන් තම භාර්යාවන්ගේ දුක සැප බැලීමට රහසින් යාමත්, රෝම පුරවරය තුළ විවාහය තහනම් වුව ද ගැබිනි මව්වරුන් දක්නට ලැබීමත් හේතුවෙන් සුපරීක්ෂාකාරී වූ ක්ලෝඩියස් රජු චරපුරුෂයන් මගින් මේ පිළිබඳව සොයා බැලීය. මේ අනුව දිනක් උමං සොහොනක විවාහයක් සිදු කරමින් සිටිය දී වැලන්ටයින්තුමාව අත්අඩංගුවට පත් විය.

දැඩි වධ හිංසාවන්ට හා නින්දා අපහාසයන්ට ලක් වූ එතුමාව දම්වැල් ලා සිර ගෙයක තැබිණි. මේ ගැන ශෝකයට පත් කිතුනු බැතිමතුන් හා විවාහකයෝ තම ප්‍රේමය හා ගෞරවය පළ කරමින් විවිධ පණිවුඩ හා රෝස මල් කිතුනු සෙබළුන් අත එතුමා වෙත එවූහ. මේ අතරතුර තම සිරගෙදර සිටි ප්‍රධානියා සමග මිත්‍රත්වයක් ඇති කර ගැනීමට වැලන්ටයින්තුමා සමත් විය. ඔහුගේ තරුණ දියණියව හමුදා සෙබළෙකුට සිරගෙදර සිටිය දීම විවාහ කරවීමට එතුමා සමත් විය.

එබැවින් එම මුළාදෑනියා හා සෙබළාගේ සහයෙන් මෙම කාර්යය තව දුරටත් කිරීමට එතුමාට හැකි විය. සිරගෙදර ප්‍රධානි‍යාගේ දියණිය ‍මෙම කාර්යයෙහි ප්‍රධාන මැදහත්කාරිය වූවා ය. ඇය නිතර සිරගෙට පැමිණ වැලන්ටයින්තුමාගේ දුක සැප සොයා බැලීය. එහෙත් මෙය තව දුරටත් රහසක් ලෙසින් පැවතුනේ නැත. ක්ලෝඩියස් අගරජුගේ චරපුරුෂයන් මේ බව දැනගෙන ඔහුට දැන්වීය.

මේ ගැන මහත් සේ උරණ වූ රජු ක්‍රිස්තු වර්ෂ 269 පෙබරවාරි 14 දා මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ විනෝද උත්සවයක් වූ “ලුපර්කාලියා” [Lupercalia] පවත්වන දින වැලන්ටයින්තුමාව ගෙළ සිඳ මරා දැමීමට නියම විය. තම මරණයට පෙර කුඩා පැපිරස් පතක සිරගෙදර ප්‍රධානියාගේ දියණියට කුඩා ලිපියක් ලියා තබා, ප්‍රීතියෙන් දේව පැසසුම් ගී ගයමින් මරණයට මුහුණ දුන්නේ ය. එම හසුන එතුමා අවසන් කර ඇත්තේ, “ඔබගේ වැලන්ටයින් ගෙනි” ["From Your Valentine"] යනුවෙනි.

වැලන්ටයින් දිනයේ දී ආදරවන්තයන් අතර සුභ පැතුම් හා ලිපි හුවමාරුව ඇති වූයේ මෙනිසා යැයි පිළිගැනීමක් ඇත. එතුමාගේ උදාර ජීවිත පූජාව උත්තරීතර විවාහය හා නිර්මල ‍වෛවාහික ප්‍රේමය ආරක්ෂා කිරීම සඳහා ය. එබැවින් ක්‍රිස්තු වර්ෂ 496 දී ග්ලාසියුස් පාප්තුමා [Pope Gelasius] වලැන්ටයින්තුමාව සාන්තුවරයට ඔසවා පෙබරවාරි 14 දිනය සාන්ත වැලන්ටයින් මංගල්‍ය දිනය ලෙස නම් කළේ ය.


එමෙන්ම ටර්නි හි සාන්ත වැලන්ටයින්තුමා උන්වහන්සේ රදගුරුවරයෙකු ලෙස සේවය කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසේ දී පමණය. එතුමා සම්බන්ධ පැහැදිළි ජීවන තොරතුරු සපයා ගැනීමට නොමැත. එහෙත් එතුමා සම්බන්ධ ජනප්‍රවාදයක් තිබේ. එනම්, සෙරපියා නමැති කිතුනු තරුණියක් අකිතුනු රෝමානු හමුදා සෙබළෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගත්තා ය. දිනක් මෙම තරුණිය භයානක බෝවන රෝගයකට ගොදුරු වී මරණාසන්න වූවා ය. රෝගී තරුණියව සමාජයෙන් වෙන් කර බිම් ගෙයක තැබුවා ය. මෙම අකිතුනු සෙබළා වැලන්ටයින් රදගුරුතුමා හමුවී තම පෙම්වතියගෙන් තමන්ව කිසිදා වෙන් නොකරන ලෙසට ආයාචනය කර ඇත. එම නිසා ඇයට සාත්තු කිරීමටත්, ඇය අසළ නිරතුරු රැඳී සිටීමටත් අවසර ලැබුණි. පසුව තරුණ සෙබළාට ද එම රෝගයට ගොදුරු වීමට සිදු විය. දෙදෙනාව විවාහ කරවීමෙන් අනතුරුව දෙදෙනා එකිනෙකා වැළඳ ගනිමින් මරණයට පත් වූ බව කියවේ.

වැලන්ටයින් දින චාරිත්‍ර

වැලන්ටයින් දින දී ආදරවන්තයන් හා විවාහකයන් අතර රෝස මල් හුවමාරුව ඉතා ප්‍රචලිත වූවකි. එයට බලපෑවේ සාන්ත වැලන්ටයින් පූජකතුමා රෝම සිර මැදිරියෙහි සිටින කාලයේ එතුමාගේ මරණ තීන්දුව ගැන ඇසූ බැතිමතුන් හා හිතවතුන් එතුමා‍ගේ සිර මැදිරිය තුළට රතු රෝස මල් එවීම ය.

වැලන්ටයින් දින දී ආදරවන්තයන් අතර පෙම් හසුන් හුවමාරුවීම් බොහෝ විට සිදුවේ. මෙම සම්ප්‍රදාය පැමිණියේ සාන්ත වැලන්ටයින්තුමා මරණයට පත් වීමට පෙර දින තම හිතවත් සැදැහැවතියක් වූ සිරමැදියේ මුලාදෑනියාගේ දියණියට යැවූ සුභාශිංසන හසුන නිසා ය.
වැලන්ටයින් සිහින පෙම්වතුන් අතර සුභ පැතුම්පත් හුවමාරුව ඇරඹී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1800 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ එස්තර් හොව්ලන්ඩ් [ Miss Esther Howland] නමැති තරුණිය තම පෙම්වතාට යැවූ සුභ පැතුම්පතක් මුල් කර ගෙන ය.පසුකාලීනව මෙම සියලු චාර්ත්‍ර වලට වාණිජමය මුහුණුවරක් හිමි විය.

නූතන වැලන්ටයින් දිනය

නූතනයේ බොහෝ රටවල් වැලන්ටයින් දිනය සමරන්නේ හුදු වාණිජමය හෝ අශිෂ්ඨ තෘෂ්ණා ඉටු කර ගැනීමේ දිනයක් වශයෙනි. තරු පහේ හෝටල වල ධනවතුන්ට අනඟ රැඟුම් නැටීමට හා දැක බලා ගැනීමට අවස්ථා සැළසේ.

එහෙත් සාන්ත වැලන්ටයින් දිනය යනු, උදාර කිතුනු මංගල්‍ය දිනයකි. රෝමයේ සාන්ත වැලන්ටයින් පූජකතුමා දිවි පිදුවේ අමිල නිර්මල වෛවාහික ප්‍රේමය හා බැඳුණු පවුල් සංස්ථාව සුරක්ෂිත කිරීමට හා ගොඩ නැංවීමට ක්‍රියා කිරීමට යාම හේතුවෙනි.

එබැවින් එදින අශෝභන හා අශීලාචාර හැඟීම් සපුරා ගැනීමට හෝ හුදු වාණිජමය අරමුණු ඉටු කර ගැනීමට හෝ යොදා ගැනීම එදින පවිත්‍රත්වය කෙළසන සාපරාධී ක්‍රියාවකි. එදින කිතුනු ආකල්පය විකෘති කිරීමකි. බාල හා තරුණ පරපුරට අවාදර්ශ දීමක් හා සදාචාර විරෝධී ක්‍රියාවක් ද වේ. එබැවින් වැලන්ටයින් දිනය වඩාත් අර්ථවත් හා සදාචාරත්මක නියම ආගමික හැඟීමකින් යුතුව සැමරීමට යොමු වීම අවශ්‍ය ය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News