Citizen.lk
 

ඔන්න අපි මේ මඟුල් ගෙදරදි මුළු රටම එකතු කරලා පෙන්නුවා - ජනපති මෛත්‍රී , හිටපු ජනපති මහින්ද එක් කළ විවාහයේ පිටුපස රහසිගත සැලසුම

ඔන්න අපි මේ මඟුල් ගෙදරදි මුළු රටම එකතු කරලා පෙන්නුවා - ජනපති මෛත්‍රී , හිටපු ජනපති මහින්ද එක් කළ විවාහයේ පිටුපස රහසිගත සැලසුම | MR MY3 Meet on Wedding Day Behind Story
Sun 10 December 2017 10:36 am
5,580 views

පසුගිය සතියේ ශ්‍රී ලංකා දේශපාලනයේ වඩාත්ම කතාබහට ලක්‌ වූ සිදුවීම් ගණනාවක්‌ම තිබිණ. ඒ අතර කැපීපෙනෙන පළමු සිදුවීම වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාත් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් එකට එක්‌තු වී විවාහ මංගල උත්සවයක දී ප්‍රථම වරට සාක්‌ෂියට අත්සන් කිරීම ය. මේ දුර්ලභ සිදුවීම සිදුවූයේ පසුගිය බ්‍රහස්‌පතින්දා පැවැති විශේෂ මංගල්‍ය උත්සවයකදීය. විවාහය සිදුවුණේ ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයාගේ දෙවැනි පුත්, දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධනත් ජනක මල්ලිමාරච්චිගේ දියණියක වන ජනාෂී මල්ලිමාරච්චිත් අතරය.


හිටපු ජනාධිපතිවරයාත් වත්මන් ජනාධිපතිවරයාත් මෙසේ හදිසියේම කිසිවෙක්‌ නොසිතූ නොපැතූ වෙලාවක එකට එකතුවී මංගල උත්සවයක සාක්‌ෂි සටහන් කිරීමට එක්‌වීම් පුදුමය දනවන සිද්ධියක්‌ වූවා සේම කිසිවකු බලාපොරොත්තු වූ දෙයක්‌ ද නොවීය. එහෙත් මේ අවස්‌ථාව උදාකරගන්නට තවත් බොහෝ දෙනෙක්‌ බොහෝ කලක සිට සංවිධානාත්මකව සැලසුම් කළ බව දන්නේ කීප දෙනෙක්‌ පමණි. එම මෙහෙයුම පසුපස කතාව මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබෙන අතර සිදුවීම සැකෙවින් මෙසේය.

මට මාස කිහිපයකට පෙර ජනක මල්ලිමාරච්චිගේ දියණිය වන ජනාෂී ධනසිරි අමරතුංග හමුවන්නට පැමිණියාය. වීරසිංහ මල්ලිමාරච්චිලාගේ හා ධනසිරිලාගේ තාත්තලගේ කාලයේ පටන් මේ පවුල් දෙක අතර ළඟ ඇසුරක්‌ පැවතුණු බව නොරහසකි. එබැවින් ජනක මල්ලිමාරච්චිගේ දියණිය වන ජනාෂිට ධනසිරිගේ ගෙදර නුහුරු තැනක්‌ නොවීය.

ධනසිරි මාමි මට ලොකු උදව්වක්‌ කරන්න ඕන...

ඔයා වෙනුවෙන් නොකරන දෙයක්‌ තියෙනවද. කියන්න දුව... ඕනම දෙයක්‌ කරන්නම්.

මගේ වෙඩින් එක ලබන දෙසැම්බර් මාසය මුල විතර කරන්නයි අදහස... ඒකට මගේ පැත්තෙන් අත්සන් කරන්න මහින්ද රාජපක්‌ෂ මැතිතුමාව ගෙනල්ලා දෙන්න ඕන.

එතන මම මොනවද කරන්න තියෙන්නේ... ඔයාම ගිහිල්ලා ආරාධනා කළා නම් එතුමා එනවා. මහින්ද මහත්තයා එහෙම කෙනෙක්‌ නෙවෙයි. බය නැතුව ආරාධනා කරන්න.

ප්‍රශ්නේ තියෙන්නේ මාමි... අනිත් පැත්තෙන් එන්නේ මෛත්‍රිපාල ජනාධිපතිතුමානෙ..... ජනාෂි කීවාය..

අන්න ඒක නම් ලෙඩක්‌ දරුවෝ.... මට නම් සහතික වෙන්න බෑ වැඩේ වෙයිද කියලා. තවම කොහේදිවත් දෙන්න ඔය වගේ වැඩකදි එකට එකතු වෙලා නෑ.... අපේ ලොක්‌කා එන කිසිම තැනකට අරයා එන්නේ නෑ. ඇයි ඉතින් සෙනඟ වටකර ගත්තහම කවුද වැඩියම ජනප්‍රිය කියලා දැන් ජනතාව දැන ගන්නවානේ. එයා එන එක මට නම් ෂුවර් නෑ.

මාමා මට මහින්ද මහත්තයාව ගෙනත් දෙන්නකෝ. ඒ ඇති... අනිත් පැත්තෙ වැඩේ පසඳලා බලා ගනීවි... ඔන්න ඒ වැඩේ නොකෙරුණොත් මේ වගේ උත්සවයක්‌ ගන්න මට නම් බැහැ... ජනාෂි ස්‌ථිරවම කියා සිටියාය.

මේ සිදුවීම් වී කාලයක්‌ ගතවිය. ලක්‌ෂ්මන් යාපාගේ ආරාධනයක්‌ ඉවත දමන්නට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කිසිවිටෙකත් නොහැකි විය. හියපු ජනපති මහින්ද රාජපක්‌ෂට මහතාට මේ පිළිබඳ චකිතයත් කිසිත් නො වී ය.

එහෙත් පසුගිය බ්‍රහස්‌පතින්දා හිටපු ජනාධිපතිවරයාට කාර්යබහුල දිනයක්‌ව තිබිණි. උදේ පටන් දවල් වනතුරුම මංගල උත්සව කිහිපයකම සාක්‌කියට අත්සන් කරන්නට හිටපු ජනාධිපතිවරයාට ආරාධනා ගණනාවක්‌ ලැබී තිබිණි. ඒ අතරින් වෙලාවක්‌ සපයාගෙන ශැන්ග්‍රිලා හෝටලයට යැම ඔහුට අසීරු කරුණක්‌ වුව තිබුණත් ධනසිරි ඇතුළු කිහිප දෙනකුගේ මැදිහත්වීමෙන් සියල්ල විසඳා ගන්නට හැකි විය.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවති තවත් මංගල උත්සවයක්‌ සඳහා සහභාගී වූ හිටපු ජනාධිපතිවරයා තේ පානය සඳහා තවත් සුළු වේලාවක්‌ එහිම රඳවා තබා හරියටම වේලාවට විනාඩි කිහිපයක්‌ කලින් ශ්‍රැන්ග්‍රීලා හෝටලය වෙත ගෙන්වා ගන්නට සියල්ල සැලසුම් කෙරිණි.

විවාහය සඳහා තෝරාගත් මැති ඇමැතිවරුන් හා රාජ්‍ය තාන්ත්‍රික පිරිස්‌, ප්‍රභූවරුන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක්‌ ආරාධනා ලැබ තිබිණි. දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, විජිත් විජයමුනි ද සොයිසා, රාජිත සේනාරත්න, චම්පික රණවක, ෆයිසර් මුස්‌තාපා, තිලංග සුමතිපාල හා කථානායක කරු ජයසූරිය සහ මන්ත්‍රීවරුන් වන ගජධීර, චමල්, දිනේෂ්, බන්දුල, ලොකුගේ, ප්‍රියංකර, සී.බී.රත්නායක යන පොදු විපක්‌ෂ මන්ත්‍රීවරුන්ද සහභාගී විය.

එක්‌සත් ජාතික පක්‌ෂය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මලික්‌ සමරවික්‍රම, සාගල රත්නායක, වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, මරික්‌කාර්, රංජිත් මද්දුමබණ්‌ඩාර, පාලිත තෙවරප්පෙරුම යන මැති ඇමැතිවරුන්ද සහභාගී විය.

අත්සන් කිරීමේ නැකත පෙ.ව. 11.05 ට යෙදී තිබිණි. පෙ.ව.10.45 වන විට ජනාධිපතිතුමා හෝටලයට පැමිණියේය. අත්සන් කිරීමට වේලාව ඇති බැවින් ජනාධිපතිතුමා අසල මේසයකට ගොස්‌ ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා සමඟ කතා කරමින් සිටියේය. පෙ.ව.10.50 වන විට හිටපු ජනාධිපතිතුමා පැමිණියේය. එක් වරම පිරිස පැමිණ මහින්දව වට කරගෙන කතා කරන, සෙල්පි ගන්න ආකාරය මෛත්‍රී බලා සිටියේය. මඟුල් ශාලාවේම අවධානය ඊට නතු විය. සියලු දෙනා බලා සිටියේ හිටපු ජනාධිපතිතුමා කොතනට යාවිද කියාය.

කිසිදු චකිතයක්‌ නොමැතිව සිනාසෙමින් වටපිටට ආචාර කළ හිටපු ජනපතිවරයා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිටි මේසය වෙතට කෙලින්ම ගොස්‌ තමන්ට සූදානම් කර තිබූ අසුනෙහි හිඳ ගත්තේය.

මට තව වෙඩින් එකක අත්සන් කරලා එන්න වුණා. ඒකයි පරක්‌කු වුණේ... කියමින් මහින්ද ජනාධිපති මෛත්‍රිපාල සමඟ සුහද කතාබහ අරඹන විටම වටපිටාවේ සිටි ඡායාරූප ශිල්පීන් පැමිණ සට පට ගා ඡායාරූප ගන්නට පටන් ගත්හ.

මටත් උදේ ඉඳලා වෙඩින්. අද දවස ඇතුළත වෙඩින් නවයකට යන්න ඕන. මෛත්‍රිපාල විස්‌තර කළේය. ඒ අතර දෙදෙනා අතර වෙනම දෙබසක්‌ ද ඇතිවිය. මහින්ද මෛත්‍රීගේ කනට කර මොනවද මිමිණූ අතර මෛත්‍රී ද පෙරළා මහින්දගේ කනට කර කුමක්‌ ද කීවේය. ඉන්පසු දෙදෙනාම මොහොතකට කොක්‌ හඬලා සිනාසෙන්නට පටන් ගත්හ.

මේ අතර ඔසඳ යාපා සිය සිඟිති දියණිය රැගෙන ජනාධිපතිවරු සිටින තැනට පැමිණි අතර හිටපු ජනාධිපතිවරයා දියණියව වඩා ගත්තේය. ඉන්පසු ජනාධිපතිවරයා ද ඇයව වඩාගෙන සුරතල් කරන්නට පටන් ගත්තේය.

පුංචි දරුවන්ව වඩා ගන්න කොටත් චුට්‌ටක්‌ හිතලා බලන්න වෙනවා. බැරිවෙලාවත් අඬන්න වගේ හිටියොත් වඩා ගන්න නරකයි. එහෙම වුණොත් පත්තරවල යනවා අන්න ජනාධිපති ළමයා වඩාගත්තා. ළමයා ඇඬුවා කියලා.

දැන් නම් වෙලාව හරි සර්... ධනසිරි පැමිණ හිටපු ජනාධිපතිවරයාට දන්වන විට ලක්‌ෂ්මන් යාපා ඇතුළු වැඩිහිටියන් පැමිණ ජනාධිපතිවරු දෙන්නාව විවාහ ලේකම්වරයා සිටින මේසය වෙත කැඳවාගෙන ගියහ.

අත්සන් තැබුවාට පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තමන් ඉක්‌මනින් යා යුතු බව ලක්‌ෂ්මන් යාපාට දන්වා සිටියේය. ඒ අතර සමූහ ඡායාරූපයකට පෙනී සිටින්නෙ ද මෛත්‍රිපාල ජනාධිපතිට සිදුවිය. හිටපු ජනාධිපතිවරයාව වටකරගෙන තරුණ යුවතියන් හා තරුණයන් සෙල්ෆි ඡායාරූප ගන්නා අයුරු දෙස ජනාධිපති මෛත්‍රී බලමින්ම පැමිණ සිටි අමුත්තන්ගෙන් සමුගෙන යන්නට ලෑස්‌ති විය. අනතුරුව මහින්ද සිටින තැනට ගිය ජනාධිපතිවරයා එහෙනම් අපි ගිහිල්ල එන්නම් යෑයි කීවේය.

එහෙනං ආයිබෝං... ආයිබෝං... කියමින් මහින්ද ජනාධිපතිවරණයා ද සුබ පැතුවේය.

පිරිස පිටත්ව ගිය පසු ලක්‌ෂ්මන් යාපා කීවේ

" ඔන්න අපි මේ මඟුල් ගෙදරදි මුළු රටම එකතු කරලා පෙන්නුවා. මේ රටේ ජනතාවගෙන් ලක්‌ෂ 62 කැමති කෙනාවයි ලක්‌ෂ 58 ක්‌ කැමති කෙනාවයි දෙන්නවම අපි එකට එකතු කරලා පෙන්නුවා" ලෙසය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Ranjan Ramanayake Truth About Sri Lanka Cricket Board | ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතුලත තිත්ත ඇත්ත රන්ජන් හෙළිකරයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x