Citizen.lk
 

කුණු ප්‍රශ්නයක් නෙවෙයි, අර්බුද කිහිපයකට පිළිතුරක්

කුණු ප්‍රශ්නයක් නෙවෙයි, අර්බුද කිහිපයකට පිළිතුරක් | Garbage Not A problem
Mon 15 May 2017 4:10 pm
2,451 views

පියවි විජේවර්ධන (පර්යේෂක - ගෝලීය ව්‍යාපාර සංවර්ධන අධ්‍යනායතනය)

පරිසරය පිරිසිදු වීම, අවකාශය විධිමත් වීම හා අලංකරණය යන සෘජු වාසිවලට අමතරව අපද්‍රව්‍ය කළමනාකරණය මගින් රටකට මහා පරිමාණ වාසි රැසක් ලබා ගත හැකියි. මෙහිදී අපද්‍රව්‍ය කළමනාකරණ විධික්‍රම පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා ඵලදායි වේ. එම නිසා කසළ ගැටලුව කෙරෙහි අපගේ කාලය, ධනය, ශ්‍රමය, අවධානය වැඩි වශයෙන් යොමු කිරීම ඉතා‍ ඵලදායි වේ. අපද්‍රව්‍ය කළමනාකරණ විධික්‍රම හරහා මිනිසාට පහත සඳහන් සාර්ව වාසි අත්කර ගත හැකියි.


සම්පත් ක්ෂය වීමේ ශීඝ්‍රතාවයට තිරිංගයක් : අසීමිත අවශ්‍යතා සහ සීමිත සම්පත් විශ්වීය සාධකයකි. ශීඝ්‍ර ජනග්‍රහන වර්ධනය ත් සමග මෙම පරතරය තවත් ප්‍රසාරණය වේ. ඇතැම් සංයෝගයන් (ඇතැම් ලෝහ වර්ග) ඉදිරි අවරුදු දහයකින්, පහළොවකින් පමණ ලෝකයෙන් තුරන් වීමේ අවදානමක් පවතී. විශේෂයෙන් ම භාවිතයෙන් පසු ඉවතලන ඝන අපද්‍රව්‍ය නැවත භාවිතයට සුදසු ලෙස සැකසීම අනිවාර්යයෙන් ම සිදු විය යුතුයි. කඩදාසි, වීදුරු, ප්ලාස්ටික් /පොලිතීන්, ලෝහයන් පමණක් නොව අපවිත්‍ර ජලය සහ ඇතැම් තෙල් සංයෝගයන් පවා ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය හරහා නැවත ප්‍රයෝජනයට ගත හැකි ලෙස සකස් කිරීම අනිවාර්යය අවශ්‍යතාවකි.


ශක්ති අර්බුදයට එක පිළිතුරක් : ඉවතලන අහාර, මළ අපද්‍රව්‍ය, ශාක සහ සත්ත්ව කොටස්, සාන්ද්‍ර-අපවිත්‍ර ජලය ඇතුළු බොහෝ දෑ මගින් ජීව වායූව සකස් කරගත හැකියි. එසේ ම අපද්‍රව්‍ය මගින් විදුලිය නිපදවීම ස්කැන්ඩිනේවියානු රටවල් ඇතුළු තවත් බොහෝ සංවර්ධිත රටවල් මේ වන විටත් සිදුකරනු ලබන වැඩපිළිවෙළකි. Depolymerisation, Gasification, Pyrolysis, Plasma-arc Gasification සහ Anaerobic Digestion වැනි ක්‍රම හරහා මෙම විදුලි ජනනය කරගත හැකියි. ස්වීඩනය වැනි රටවල් මෙම තාක්ෂණය ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ස්වීඩනයට කුණු ආනයනය කිරීමට පවා සිදුව තිබේ.


අහාර හා සෞඛ්‍ය අර්බුදයට ගුණාත්මක විසඳුමක් : අපද්‍රව්‍ය කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරගත හැකියි. අපද්‍රව්‍ය පරිසරයෙන් ඉවත්වීම, කෘෂි පොහොර විශේෂයක් ලෙස කෘෂිකර්මාන්තයට දායක වීමට අමතරව කෘත්‍රිම අහිතකර රසායනිකයන්ගෙන් තොර වීම නිසා කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සෞඛ්‍ය සහ පාරිසරික වශයෙනුත් වාසි ගෙන දෙන වැඩපිළිවෙළකි.
රැකියා වියුක්තිය අඩු කිරීමට ක්‍රියා මාර්ගයක් : මෙම අපද්‍රවය කළමනාකරණ ක්‍රියාවලිය සාර්ව ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීම හරහා බොහෝ පිරිසකට රැකියා අවස්ථා ලබා දිය හැකියි. ශ්‍රී ලංකාව පුරා ප්‍රාදේශීය සභා 27ක්, මහනගර සභා 23ක් සහ නගර සභා 41ක් ක්‍රියාත්මක වේ. මෙම අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලිය පළාත් පාලන යාන්ත්‍රණය හරහා ක්‍රියාත්මක කිරීම තුළින් දීපව්‍යාප්ත ව්‍යාපෘති ගොඩනගා බොහෝ දෙනෙකුට, ස්ථිර රැකියා අවස්ථා සහ තවත් බොහෝ පිරිසකට තාවකාලික අදායම් මාර්ග ද ලබාදීමේ හැකියාවක් තිබේ.


ඉතා වැදගත්

සියල්ල ඉටු කිරීමට පෙර කසළ වෙන් කිරීමේ ක්‍රියාවලිය නිසි ලෙස සැකසීම අතිශය වැදගත් ය.. බොහෝ ක්‍රමවේද යටතේ, අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට නැවත භාවිතයට සහ ශක්ති ප්‍රභවයන් ලෙස පරිවර්තනය කිරීමට හැකියාව ඇතත්, එම ක්‍රියාවලිය සකස් කිරීමේ ප්‍රධානත ම ප්‍රයෝගික ගැටලුව වී ඇත්තේ, නිසි ලෙස කසළ වෙන්කර ගැනීමට ඇති අපහසුතාවයි. එම නිසා විධිමත් ලෙස කසළ වර්ගීකරණ ක්‍රියාවලියකට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීම ඉතා අත්‍යාවශ්‍ය කරුණකි. ඒ සඳහා නිසි මූල්‍ය ප්‍රතිපාදන සකස් කිරීමට නිර්ලෝභි විය යුතු අතර කසළ වෙන්කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය යාන්ත්‍රණයන් සහ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද අලස නොවිය යුතුයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News