Citizen.lk
 

"තෙරුවන් සරණයි" කියන එක "තරුවන් සරණයි" කියලා කියනවා - බුදු දහමට අපහාස වන නාට්‍ය හතක් හදලා

Wed 22 August 2018 10:58 am
506 views

වත්මන් යහපාලන ආණ්ඩුව වගකිවයුතු ඇතැම් පුද්ගලයන්ගේ දැනුවත්කමින් බුදු දහමට අපහාස වන ආකාරයේ වැඩසටහන් දැන් නිර්මාණය වෙමින් පවතින්නේ යැයිද මෙය ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් වන්නේ යැයිද ඒ නිසා මෙවන් අවස්ථාවක එම කනගාටුදායක තත්ත්වයෙන් බුදුදහම මුදාගෙන රැක ගැනීම අප සැමගේ වගකීම හා යුතුකම විය යුතු යැයිද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැවැසීය.

හිටපු ජනපතිවරයා එසේ පැවැසුවේ පෙරේදා (19දා) පස්වරුවේ සිවුරුළුමුල්ල ශ්‍රී ශෛලාරාම විහාරස්ථානයේ පැවැති 'ප්‍රවචන කීර්ති ශ්‍රී සිද්ධාර්ථ ජිනරතන' යන ගෞරව නාමය සහිත සියනෑ කෝරලයේ ද්විතීයික සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ සිවුරුළුමුල්ල ශ්‍රී ශෛලාරාම විහාරාධිපති, ගම්පහ බැණ්ඩියමුල්ලේ ශ්‍රී විද්‍යාශේඛර මහ පිරිවෙන්හි පරිවේණාධිපති ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත බණ්ඩාරවෙල සාරද නාහිමියන් පිළිගැනීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.උත්සවය අමතා තවදුරටත් කතා කළ හිටපු ජනපතිවරයා මෙසේද කීය.

අද රජයේ මුදල් දීලා බුදුදහමට පහර ගහලා නාට්‍යයන් හදලා තිබෙනවා. මේ වන විට නාට්‍ය හතක් හදලා තිබෙනවා. ඒවායේ 'නිර්වස්ත්‍රං පරමං සුඛං' කියලා හෙලුවෙන් සිටීම පරම සුවය කියන එකයි ඒ වචනයෙන් කියන්නේ.

'තෙරුවන් සරණයි' කියන එක 'තරුවන් සරණයි' කියලා කියනවා. මට මේ දුක මේ පිළිබඳව කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ශෙ‍ර්ෂ්ඨ කාන්තාවක් වූ සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගේ ආදරණීය දියණියක් වීමයි. මේවා ආණ්ඩුව මැදිහත් වී අතිහිටුවන්නට කටයුතු කරන්නට ඕනෑ.

මේ යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව බුද්ධාගමට දක්වන සැලකිල්ල අඩු වී තිබෙනවා. ඒ වගේම නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් බුදුදහමට හිමි වී තිබෙන තැන උල්ලංඝනය වන ආකාරයටද ආණ්ඩුව කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි භික්ෂුන් වහන්සේට හිමි තැන ගිහියන් ලබා ගැනීමට උත්සාහ කරනවා. මේවායින් සිදු වන්නේ බුදු දහම පිරිහී යෑමයි.

ඉතින් මේවාට ආණ්ඩුව සම්බන්ධ වීම ඉතාමත්ම භයානකයි. මේ ගැන නිහඬව සිටීම කනගාටුදායකයි. එබැවින් දරුවන් දහස් පාසල්වලට යවලා රටට ආදරය කරන ජාතියට ආදරය කරන ආගමට ආදරය කරන දරු පිරිසක් බිහි කිරීම අප කාගේත් යුතුකම වෙනවා. අද බුදුදහමට සිදුවන හානිය ගැන නාහිමිවරුන් නිර්භයවම අදහස් ප්‍රකාශ කිරීම අපට සතුටට කරුණක් වෙනවා. අද රටේ වෙන දේවල්වලට වගකීමට කෙනෙක් නැහැ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News